අසේල කුරුළුවංශ –
කූඨ ලේඛන සකස් කර ණයකරුවෙකුගේ ණය මුදල් ඉහළ දමා රුපියල් මිලියන ගණනක වංචාවක් සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර සම්පත් බැංකු ශාඛාවක ප්‍රධාන විධායක නිලධාරියෙකු සහ කළමනාකරුවෙකු ඇතුළු සේවකයින් නව දෙනෙකු මහනුවර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ අදාළ බැංකුවෙන් රුපියල් මිලියන 35ක ණය මුදලක් ලබාගත් රංජිත් චන්ද්‍රසිරි නැමැති ව්‍යාපාරිකයා විශේෂ අපරාධ විමර්ශන අංශයට කළ පැමිණිල්ලකට අනුවය.
තමන් ලබාගත් ණය ප්‍රමාණයට වඩා වැඩි මුදලක් ව්‍යාජ ලේඛන හරහා තමන්ගේ නමට ඇතුළත් කර වසර ගණනාවක් තිස්සේ මෙම වංචාව සිදුකර ඇති බවත්, ඒ පිළිබඳව සාධාරණයක් ඉටුකරන ලෙස බැංකුවේ ඉහළ කළමනාකාරීත්වයෙන් ඉල්ලා සිටියද කිසිදු පරීක්ෂණයක් සිදු නොවූ බවත් ව්‍යාපාරිකයා පවසයි.
බැංකු නිලධාරීන් සකස් කළ ලේඛන කූඨ ඒවා බවට රජයේ රස පරීක්ෂකවරයා මගින් තහවුරු වීමෙන් පසු, පැමිණිල්ල සිදුකර වසර දෙකකට පසුව සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන ඇත.
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මනගේ උපදෙස් මත විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේරත් ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.







