මනම්පිටිය නිමල් ජයරත්න –
මීට වසර තිස් එකකට ඉහතදී ත්‍රස්තවාදීන්ගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව අපවත් වී වදාළ දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩ විසූ මාතර කිතරගම ශ්‍රී සීලාලංකාර නාහිමියන්ගේ 31 වන ගුණ සමරු පිංකම මැයි 26 වෙනිදා ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේදී සහ මනම්පිටිය මාගන්තොට ශ්‍රි සීලාලංකාර බෞද්ධ මධ්‍යස්ථානයේදී දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

රටට, ජාතියට සහ ආගමට සුවිශාල සේවාවක් සිදු කරමින් මෙරට වැඩිම භික්ෂූන් වහන්සේලා පිරිසක් ශාසනයට ඇතුළත් කිරීමටත්, වෙහෙර විහාරස්ථාන, ගම්මාන මෙන්ම මාදුරුඔය ජලාශය ඉදිකිරීමටත් පුරෝගාමීත්වය ගත් දිඹුලාගල නාහිමියන් 1995 මැයි 26 වෙනිදා දිඹුලාගල මැණිකේඇළ ප්‍රදේශයේදී ත්‍රස්තවාදී වෙඩි ප්‍රහාරයකින් අපවත් වූහ.
ශ්‍රී සීලාලංකාර නාහිමියන්ගේ 31 වන ගුණ සමරු පින්කම වෙනුවෙන් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ලේ දන්දීමේ පින්කමක්, ඇස් කන්නාඩි ලබාදීම, පාසල් දරුවන්ට පොත්පත් බෙදාදීම සහ ඔක්සිජන් පැල ලබාදීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණි.
දිඹුලාගල ආරණ්‍යවාසී හෙනානිගල චුල්ලපන්තකාලංකාර නාහිමියන් විසින් මෙම පින්කම සංවිධානය කර තිබූ අතර, මනම්පිටිය මාගන්තොට ශ්‍රී සීලාලංකාර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය අත්තනකඩවල ජනතාලංකාර නාහිමියන් සහ දිඹුලාගල නාහිමි ගුණසමරු පදනම මඟින් සංවිධානය කරන ලද විශේෂ පින්කමක් මනම්පිටිය සීලපුර මංසන්ධියේ පිහිටි නාහිමි පිළිරුව අබියසදී හා සීලාලංකාර බෞද්ධ මධ්‍යස්ථානයේදී සිදු කෙරිණි.
සීලපුර මංසන්ධියේ පිහිටි දිඹුලාගල නාහිමි පිළිරුවට මල් කළඹ තබා වැඩම කළ මහා සංඝරත්නය පුෂ්පෝපහාර දැක්වූ අතර එම අවස්ථාවට පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග ඇතුළු පොලිස් නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.
මෙහිදී වැඩම කළ මහා සංඝරත්නය උදෙසා චතුමධුර සහිත ගිලන්පස පූජාවක් මෙන්ම අටපිරිකර පූජාවක් පවත්වා, අපවත් වී වදාළ සීලාලංකාර නාහිමියන්ට සහ මල්දෙනියේ ජිනාලංකාර නාහිමියන්ට මෙන්ම දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරමින් අපවත් වන්නට යෙදුණු සියලු සංඝරත්නය උදෙසාත්, මාගන්තොට ගම්මානයේ මියගිය දායකකාරකාදීන්ට පින් අනුමෝදන් කිරීමද සිදු විය.
මෙම පින්කම් මාලාව සඳහා කදුරුවෙල ජයන්ති විහාරාධිපති පූජ්‍ය කදුරුවෙල ධම්මපාල නාහිමියන්, ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ දායකකාරකාදීන් විශාල පිරිසක් සහභාගි වූහ.
–







