ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය කිරීමේ විශේෂ යෝජනාවක් අද (23) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය. මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණි ජයසිංහ ප්‍රකාශ කළේ, පවතින තත්ත්වය මත බස් ගාස්තු ඉහළ නැංවීමේ අවශ්‍යතාව පැන නැගී ඇති බවයි.
පසුගිය 21 වනදා සිදුවූ ඉන්ධන මිල සංශෝධනයත් සමඟ ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 303 සිට 382 දක්වා රුපියල් 79කින් ඉහළ ගොස් ඇත. ජාතික ගමනාගමන කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ජූලි මස 4 වනදා බස් ගාස්තු සංශෝධනය කරන විට ඩීසල් ලීටරයක මිල රුපියල් 289ක්ව පැවති බවයි. ඒ අනුව වත්මන් මිල වැඩිවීම සැලකීමේදී ඩීසල් මිලෙහි සමස්ත වැඩිවීම රුපියල් 93කි.
බස් ගාස්තු ගණනය කිරීමේ සූත්‍රයට අනුව, ඉන්ධන මිලෙහි මෙම වෙනස සමස්ත බස් ගාස්තුව කෙරෙහි 10%කට වඩා වැඩි බලපෑමක් එල්ල කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා සඳහන් කළේය.
මේ හේතුවෙන් නව ගාස්තු සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට කටයුතු යොදා ඇත.







