78 වන ඉන්දීය නිදහස් දිනය ඊයේ (15 ) රටේ විවිධ ප්‍රදේශයන් හිදි සමරන ලදී. කොළඹ පැවති ප්‍රධාන උත්සවය ඉන්දියානු මහ කොමසාරිස්තුමාගේ නිල නිවස වන ‘ඉන්දියා හවුස්’ හිදි පැවැත්විණ.
මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඉන්දීය ජාතික ධජය එසවීමෙන් අනතුරුව හමුදා උත්තමාචාර නිරීක්ෂණය කළේය. ඉන්දීය ජනාධිපතිතුමිය විසින් 78 වන ඉන්දීය නිදහස් දිනයට පෙර දින ජාතිය අමතා සිදු කරන ලද කතාවෙන් උපුටා ගත් කොටස් ද කොමසාරිස්වරයා විසින් මෙහිදී ඉදිරිපත් කරන ලදී.
විවිධ සංස්කෘතිකාංග රැසක් මෙම අවස්ථාව තවත් විචිත්‍රවත් කළ අතර ශ්‍රී ලංකා නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායම වීරත්වය සහ ජාත්‍යාලය සංකේතවත් කරන මිහිරි තනු වාදනය කළහ. රංජිත් ගොගෝයි ප්‍රමුඛ සංස්කෘතික සබඳතා සඳහා ඉන්දියානු කවුන්සිලයේ (ICCR) නර්තන කණ්ඩායම බිහු නර්තනයක් සමඟින් පැමිණ සිටි පිරිස අමන්දානන්දයට පත් කළහ.
මහ කොමසාරිස්තුමා සහ මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහු ශ්‍රී ලංකාවේ සාමය සහ එක්සත්භාවය ආරක්ෂා කිරීම උදෙසා දිවි පිදූ ඉන්දීය සාම සාධක හමුදා විරුවන් වෙනුවෙන් ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකයේ දී සිය උපහාරය ද පුද කළහ.
මහනුවර සහකාර මහ කොමසාරිස් කාර්යාලය සහ යාපනය සහ හම්බන්තොට ඉන්දීය කොන්සියුලර් ජෙනරාල් කාර්යාල විසින් ද විශේෂ නිදහස් දින සැමරුම් සංවිධානය කර තිබිණ.
ඊයේ පස්වරුවේ භාරත් ශ්‍රී ලංකා මෛත්‍රී උත්සවය 2024 ඇරඹුන අතර එය අගෝස්තු 15 සිට 18 වන දින දක්වා දින හතරක් පුරා කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වෙනු ඇත.
ඉන්දීය සහ ශ්‍රී ලංකා නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණ රැගත් සාම්ප්‍රදායික අත්කම් ප්‍රදර්ශනයක් ද සංස්කෘතික ඉදිරිපත් කිරීම් ද ආහාර සැණකෙළියක් ද මෙම උත්සවයට ඇතුළත් වේ. මෙම උත්සවය 2024 අගෝස්තු 18 වන දින ප.ව. 10 දක්වා මහජනතාව සඳහා විවෘතව පවතිනු ඇත.







