මේ මස 21 වැනිදා නුගේගොඩ පැවැත්වීමට නියමිත ආණ්ඩුවට එරෙහි විපක්ෂයේ රැළියට සහභාගී වීම විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක් ප්‍රතික්ෂේප කරමින් සිටින බව වාර්තා වේ.
අද (03) සවස හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් ගේ නිවසේ පැවැත්වූ විපක්ෂ දේශපාලන පක්ෂ එකමුතුවේ සාකච්ඡා අවසානයේ දී මාධ්‍යයට අදහස් දක්වමින් එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසුවේ තමන් මෙම රැළියට එක් නොවන බවය.
සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුන දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මාධ්‍ය ඉදිරියේ දීර්ඝ විස්තරයක් කරමින් තමන් මෙම රැළියට සහභාගී වනවාද නැද්ද යන්න තවම තීරණය කර නැති බවත්, විපක්ෂයක් ලෙස සියලු දෙනාම මේ ජන රැළියට ආශීර්වාද කරන නමුත් ඊට එක් වීම එක් එක් පක්ෂවල ස්වාධීන තීන්දුවක් බවය.
ප්‍රධාන විපක්ෂයවන සමගි ජන බලවේගය රැළියට සහභාගී නොවන බව මේ වනවිට ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පැවසුවේ මේ සම්බන්ධව කළ සාකච්ඡාවල දී අවසන් අවස්ථාව තෙක් සමගි ජන බලවේගයේ නියෝජිතයෙක් සාකච්ඡාවට එක් වී සිටියත් අවසන් මොහොතේ ඉවත් වූ බවය.
එමෙන්ම සමගි ජන සංධානය නියෝජනය කරන ප්රජාතන්ත්රවාදී ජනතා පක්ෂයේ නායක මනෝ ගෙනේෂන් ද 21 රැළියට ආශීර්වාද කරන නමුත් ඊට එක්වීමට අදහසක් නොමැති බව කියා සිටියේය.







