කපිල කේ හීනටියන –
කලාපීය දේශපාලනික නොසන්සුන්තාව මධ්‍යයේ මානුෂීය මෙහෙයුමක් දියත් කරමින්, ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ නැංගුරම් ලා තිබූ ඉරාන නාවික හමුදාවට අයත් IRIS Bushehr නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය ආරක්ෂිතව මුදාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගෙන ඇත.
ඉන්දියාවේ පැවති MILAN 2026 නාවික අභ්‍යාසයට සහභාගී වී යළි පැමිණෙමින් සිටියදී එන්ජිමේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම නෞකාව හදිසි නැංගුරම් ලෑමක් ඉල්ලා තිබුණි.
නෞකාවේ නිලධාරීන් සහ සෙසු නාවිකයින් ඇතුළු 208 සිටියහ. ඒ නිලධාරීන් 53ක්, කැඩෙට් නිලධාරීන් 84ක්, ජ්‍යෙෂ්ඨ නාවිකයින් 48ක් සහ නාවිකයින් 21ක් (හෝ 23ක්) ලෙසය. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කළේ පුද්ගලයින් 204 දෙනෙකු කොළඹ වරාය වෙත ගොඩබිමට රැගෙන ආ බවය. මාධ්‍ය වාර්තා සහ නාවික හමුදා ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ඉතිරි නාවිකයින් 4 දෙනා නෞකාව තුළම රැඳී සිටි බවය. ඒ සඳහා බලපා ඇති ප්‍රධාන හේතු දෙක වන්නේ නෞකාව ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන යාමේදී එහි අත්‍යවශ්‍ය මෙහෙයුම් කටයුතු සඳහා සහාය වීම සහ නෞකාවේ එන්ජිමේ පවතින කාර්මික දෝෂය පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදා ඉංජිනේරුවන්ට අවශ්‍ය තාක්ෂණික මගපෙන්වීම් ලබා දීමය.
මුදාගත් නාවිකයින් පිරිස වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුව ආරක්ෂිත පියවරක් ලෙස වැලිසර නාවික හමුදා කඳවුරේ ස්ථාපිත කර සිටිති.

මෙම මෙහෙයුම සිදුවන්නේ ඇමරිකානු සබ්මැරීනයක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් ඉරානයේ IRIS Dena නෞකාව ඉන්දීය සාගරයේ ගිල්වා දැමීමෙන් දිනකට පසුව වීම විශේෂත්වයකි. එම ප්‍රහාරයෙන් මිය ගිය නාවිකයින් 84 දෙනෙකුගේ සිරුරු කරාපිටිය රෝහලේ මේ වනවිටත් තැන්පත් කර ඇත. 32 ක පිරිසක් ජීවිතය බේරාගෙන ප්‍රතිකාර ලබති අඩුම තරමින් තවත් නාවිකයින් 64 දෙනෙක් අතුරුදහන්ය. මාර්තු 4 වැනිදා සිදු වූ IRIS Dena නෞකාව ගිල්වා දැමීමේ සිද්ධිය සිය මෙහෙයුම්වල කොටසක් බව ඇමරිකාව පවසා ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ, භූ-දේශපාලනික බලපෑම්වලට වඩා මිනිස් ජීවිත බේරාගැනීමට ප්‍රමුඛතාව ලබා දෙමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර නීතියට සහ මධ්‍යස්ථ ප්‍රතිපත්තියකට අනුව කටයුතු කරන බවය. කොළඹ වරායේ තදබදය සහ පවතින අවදානම් තත්ත්වයන් සලකා බලමින් අදාළ නෞකාව ත්‍රිකුණාමලය නැගෙනහිර වරාය වෙත රැගෙන යාමට ද නියමිතව ඇත.
ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව IRIS Bushehr නෞකාව සහ එහි කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා රජයේ භාරයට ගෙන ඇති බැවින් නෞකාවේ ආරක්ෂාව සහ ඉදිරි මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් පූර්ණ වගකීම දරන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවය.
නෞකාව ත්‍රිකුණාමලය වරාය ප්‍රදේශය වෙත යාත්‍රා කරවීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායමක් සහ ඉතිරි වූ ඉරාන නාවිකයින් 4 දෙනාගෙන් සමන්විත ඒකාබද්ධ අත්‍යවශ්‍ය කණ්ඩායමක් පත් කර ඇත. නෞකාව ත්‍රිකුණාමලය බලා යාත්‍රා කිරීමේදී ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රාවල ආරක්ෂාව සහ අධීක්ෂණය ඒ සඳහා අඛණ්ඩව ලැබෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක බුද්ධික සම්පත් තහවුරු කළේය.
මෙම මුදාගැනීමේ මෙහෙයුම් දෙකෙහිදීම ශ්‍රී ලංකාව මැදිහත් වීම හරහා මෙරට මධ්‍යස්ථභාවය ලොවට විදහා දක්වන නමුත්, අවසර ලබාදීමේ ප්‍රමාදයන් සහ ඉන්දු-පැසිෆික් කලාපයේ නොබැඳි රටවලට මෙහි ඇති බලපෑම පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමුව තිබේ.

මාධ්‍ය වාර්තාකරණය –
ඉරාන නෞකාවේ නාවිකයින් මුදාගැනීමේ පුවත දේශීය මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යවල ද දැඩි අවධානයට ලක්ව තිබුණේය. ඒ ඒ පාර්ශවයන් මෙම සිදුවීම විවිධ කෝණවලින් වාර්තා කර තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන මෙම සිදුවීමේ මානුෂීය පැතිකඩ සහ රජයේ තීරණාත්මක ක්‍රියාකලාපය ඉස්මතු කර ඇත.
මාර්තු 6 වනදා උදෑසන වන විට නාවිකයින් 204 දෙනා මුදාගැනීමේ කටයුතු අවසන් වූ බවත්, නෞකාව ත්‍රිකුණාමලය වෙත රැගෙන යන බවත් NewsFirst වාර්තා කළේය. “අපි කිසිදු බලපෑමකට යටත් වන්නේ නැහැ. අපේ මධ්‍යස්ථභාවය ආරක්ෂා කරන අතරම මානුෂීයත්වය සහ ජීවිත බේරාගැනීම අපේ ප්‍රමුඛතාවයි” යනුවෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය එහි අවධාරණය කර තිබුණි. මුදාගත් පිරිස අතර නිලධාරීන් 53ක්, කැඩෙට් නිලධාරීන් 84ක්, ජ්‍යෙෂ්ඨ නාවිකයින් 48ක් සහ නාවිකයින් 23ක් සිටින බව ද එහි සඳහන් විය.
නාවිකයින් 204 දෙනා ආරක්ෂිතව කොළඹ වරායට පැමිණි බව තහවුරු කළ අද දෙරණ නාවික හමුදාව විසින් සිදුකරන ඉදිරි මෙහෙයුම් කටයුතු පිළිබඳව වාර්තා කළේය.
පෙබරවාරි 26 වැනිදා සිටම ඉරානය නෞකා තුනක් සඳහා මෙරට වරාය පහසුකම් ඉල්ලා තිබූ බවත්, මාර්තු 4 වැනිදා Bushehr නෞකාවේ එන්ජිමට හානි වීමත් සමඟ එම ඉල්ලීම හදිසි තත්ත්වයක් දක්වා වර්ධනය වූ බවත් EconomyNext මේ සම්බන්දව වාර්තා කරමින් අනාවරණය කළේය.

විදේශීය මාධ්‍ය කියන කතාව
ජාත්‍යන්තර මාධ්‍ය මෙම සිදුවීම ඇමරිකා-ඉරාන ගැටුමේ ව්‍යාප්තියක් ලෙස අර්ථකථනය කර ඇති අතර, ශ්‍රී ලංකාව මෙම බලපෑමට මැදිවී ඇති ආකාරය විශ්ලේෂණය කර ඇත.
“මෙවැනි යුද්ධයකින් කිසිවෙකු මිය නොයිය යුතුයි. සෑම ජීවිතයක්ම එක හා සමානව වටිනවා” යන ජනාධිපතිවරයාගේ ප්‍රකාශය උපුටා දක්වමින් බ්‍රිතාන්‍යයේ The Guardian ඉරාන විදේශ අමාත්‍යවරයා සමඟ පැවැත්වූ සෘජු සාකච්ඡා පිළිබඳව තොරතුරු වාර්තා කළේය.
මැද පෙරදිග ආතතිය ඉන්දීය සාගරය දක්වා ව්‍යාප්ත වී ඇති බව පෙන්වා දෙමින්, මානුෂීය හේතූන් මත නෞකාව සහ පිරිස රඳවා ගැනීමට ශ්‍රී ලංකාව ගත් තීරණය The New York Times විසින් විස්තර කළේය.
මෙම නෞකා ඉන්දියාවේ පැවති MILAN 2026 නාවික අභ්‍යාසයට සහභාගී වී ආපසු යමින් සිටි බවත්, IRIS Dena නෞකාව ගිල්වා දැමීමෙන් පසු මියගිය නාවිකයින් 80කට අධික පිරිසකගේ සිරුරු සොයාගත් බවත් Reuters සහ Associated Press (AP) විසින් වාර්තා කර තිබිණි.
ඇමරිකානු සබ්මැරීන් ප්‍රහාරයක් එල්ල වීමේ බිය හේතුවෙන් නාවිකයින් ආරක්ෂිතව ගොඩබිමට රැගෙන ආ බවත්, නෞකාව ත්‍රිකුණාමලයේ රඳවා තැබීමට පියවර ගෙන ඇති ආකාරයත් TRT World සහ France 24 සඳහන් කළේය.
මීට අමතරව, ඉන්දියාවේ NDTV සහ WION වැනි මාධ්‍ය ජාලයන්, ඉන්දියාව සත්කාරකත්වය දැක්වූ අභ්‍යාසයකට සහභාගී වූ නෞකාවකට මෙවැනි ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රතිචාරය කෙබඳු වේදැයි ප්‍රශ්න කර තිබිණි.
ලෝකයේ අදහස –
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ගත් මෙම අතිශය තීරණාත්මක ප්‍රවේශය ජාත්‍යන්තරය තුළ මිශ්‍ර ප්‍රතිචාරයන්ට ලක්ව ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේ මෙම “ජීවිත බේරාගැනීමේ ප්‍රමුඛතාව” සහිත මානුෂීය මෙහෙයුම අගය කර තිබේ. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලූ කින්ජියන් (Lou Qinjian) සහ මාඕ නිං (Mao Ning) පෙන්වා දී ඇත්තේ කලාපීය සාමය පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව ගන්නා උත්සාහය අගය කරන බවය. ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන නාවිකයින් බේරාගැනීමට ශ්‍රී ලංකාව ගත් ක්‍රියාමාර්ගය “වගකීම් සහගත රාජ්‍යයක භූමිකාව” විදහා දක්වන බව චීනය පවසා ඇත. ජාත්‍යන්තර නීතියට අනුකූලව ශ්‍රී ලංකාව සිය ස්වාධීනත්වය ආරක්ෂා කරගනිමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් රුසියාව සිය සහයෝගය පළ කර තිබේ. රුසියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාරියා සකාරෝවා (Maria Zakharova) සහ විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් (Sergey Lavrov) අවධාරණය කර ඇත්තේ මෙවැනි අවස්ථාවක දී කුඩා රටවල් මත බලපෑම් කිරීමේ “කැලෑ නීතියට” එරෙහිව සියලු දෙනා පෙළගැසිය යුතු බවය.
ඉරාන විදේශ අමාත්‍ය අලි බගෙරි කානි (Ali Bagheri Kani) ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ විදේශ අමාත්‍යවරයා සමඟ සෘජුවම සම්බන්ධ වී තිබේ. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තම නාවිකයින් බේරාගැනීමට ශ්‍රී ලංකාව ගත් තීරණය “සැබෑ මිත්‍රත්වයේ සහ මානුෂීයත්වයේ සංකේතයක්” බවය.
කිසිදු ජාත්‍යන්තර බලපෑමකට යටත් නොවී ශ්‍රී ලංකාව ක්‍රියා කිරීම ඉරානයේ ගෞරවයට පාත්‍ර වන බව ඔහු පවසා ඇත. තම නාවිකයින් “අත්අඩංගුවට පත් වූ පිරිසක්” නොව, හදිසි උවදුරකට ලක්ව ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර ලබන පිරිසක් ලෙස ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත.
එහෙත් ඇමරිකාව ඇතුළු මිත්‍ර රටවල් මෙම මැදිහත්වීම දකින්නේ වෙනත් කෝණයකිනි.

ඇමරිකාව ප්‍රමුඛ පාර්ශවය මෙම සිදුවීම හුදු මානුෂීය මෙහෙයුමකට වඩා “ඉරාන හමුදා සාමාජිකයින්ට රැකවරණය දීමක්” ලෙස අර්ථකථනය කිරීමට උත්සාහ කරන බව පෙනෙන්නට තිබේ. මෙය ශ්‍රී ලංකාවට රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් දැඩි පීඩනයක් එල්ල විය හැකි තත්ත්වයකි.
ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව (Pentagon) සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව IRIS Dena නෞකාව ගිල්වා දැමීම ‘Operation Epic Fury’ මෙහෙයුමේ කොටසකි. ඉරාන නාවික හමුදාව කලාපීය නාවික ගමනාගමනයට එල්ල කරන තර්ජන හමුවේ මෙම ප්‍රහාරය එල්ල කළ බවත් ඇමරිකාව පවසයි. මේ පදනම මත ශ්‍රී ලංකාව ඉරාන නාවිකයින්ට රැකවරණය දීම සම්බන්ධයෙන් ඇමරිකානු නිලධාරීන් සිය “අසතුට” වක්‍රව පළ කර තිබේ. ඉරාන නෞකාව සහ එහි පිරිස සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙසත් ඔවුන් ජාත්‍යන්තර සම්බාධකවලට යටත් පිරිසක් බවත් ඇමරිකාව දක්වා ඇත.
ඊශ්‍රායලය මෙම සිදුවීම දෙස බලන්නේ දැඩි සැකයකින් යුතුවය. ඉරාන නාවික නෞකා “සිවිල් වේශයෙන් පැමිණෙන ත්‍රස්තවාදී මධ්‍යස්ථාන” ලෙස හඳුන්වන ඊශ්‍රායලය, එවැනි නෞකාවලට සහ එහි පිරිසට වරාය පහසුකම් ලබා දීමෙන් කලාපීය ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවට ශ්‍රී ලංකාවට අනතුරු අඟවා තිබේ.
ඇමරිකානු කඳවුරේ සිටින මැදපෙරදිග මිත්‍ර රටවල් මෙම සිදුවීමේදී වඩාත් ප්‍රවේශම් සහගත (Cautious) ස්ථාවරයක් අනුගමනය කරනු පෙනේ. සවුදි අරාබිය සහ එක්සත් ආරාබි එමීර් රාජ්‍යය මෙම ප්‍රහාරය හෙළා දැකීමෙන් වැළකී සිටින අතරම, ඉන්දීය සාගරයේ ආරක්ෂාව තහවුරු විය යුතු බවත්, කිසිදු පාර්ශවයක් ගැටුම් ව්‍යාප්ත නොකළ යුතු බවත් පවසා තිබේ. ශ්‍රී ලංකාවේ මැදිහත්වීම සම්බන්ධයෙන් ඔවුන් නිල වශයෙන් විවේචන ඉදිරිපත් කර නැතත්, ගැටුම තවදුරටත් තීව්‍ර වීම පිළිබඳව සිය කනස්සල්ල පළ කර ඇත.
MILAN 2026 නාවික අභ්‍යාසයෙන් පසු ඉරාන නෞකා තම මුහුදු සීමාවෙන් පිටව යන තෙක් බලා සිට, ප්‍රහාරය එල්ල වූ වහාම ඉන්දියාව දැක්වූ “උපායමාර්ගික නිහඬතාව” ජාත්‍යන්තර මාධ්‍යයේ දැඩි විවේචනයට ලක්ව ඇත. එය ශ්‍රී ලංකාව අපහසුතාවයට පත් කිරීම සඳහා නිර්මාණය කළ රාජ්‍ය තාන්ත්‍රික උගුලක් විය හැකි බවට ජාත්‍යන්තර ආරක්ෂක විශ්ලේෂකයින් සැක පළ කරයි. මේ සිද්ධිය ඊයේ රටටම තේරෙන භාෂාවෙන් චාමර සම්පත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී කීවේය. “ ඉන්දියාව කළේ පට්ට බලු වැඩක්”. ලෝකය මේ කියන්නේ ඒ කතාවය.
අපි ඉන්දියාවේ උගුලක සිරවුනා ද?

ඉරානය සමඟ සමීප සබඳතා පවත්වන අතරම ඇමරිකාව අමනාප කර ගැනීමට අකමැති වූ ඉන්දියාව, මෙම මානුෂීය වගකීම නින්දාසහගත ලෙස පැහැර හැරියා මෙන්ම සූක්ෂ්ම ලෙස ශ්‍රී ලංකාව මත පැටවූ බවට විවේචන පවතී.
ශ්‍රී ලංකාව ඉරාන නාවිකයින් බේරාගැනීමත් සමඟ, එක් පසෙකින් ඇමරිකාවේ රාජ්‍ය තාන්ත්‍රික පීඩනයටත්, අනෙක් පසින් ඉරානය සහ එහි මිත්‍ර රටවල් සමඟ පවතින සබඳතාවල සංවේදීතාවටත් ශ්‍රී ලංකාව සිරවී ඇති බව Reuters සහ The Guardian වැනි මාධ්‍ය පෙන්වා දෙයි.
ඉන්දියාව මෙහිදී “නිරීක්ෂකයෙකුගේ” භූමිකාවට පමණක් සීමා වෙමින්, කලාපීය ආරක්ෂක වගකීමෙන් මගහැරීම හරහා ශ්‍රී ලංකාව බටහිර බලවතුන් සමඟ ගැටුමකට තල්ලු කිරීමේ අවදානමක් නිර්මාණය කර ඇති බව මෙම විශ්ලේෂණවල වැඩිදුරටත් සඳහන් වේ.
ලෝක සම්මුතීන් ප්‍රඥ්පති තවදුරටත් වලංගු නම් ශ්‍රී ලංකාවට මේ මැදිහත්වීමේ ගෞරවය සහ ජාතියක් ලෙස ඉදිරියේ දී ඇතිවිය හැකි පෞරුෂය සම්බන්ධව සුබවාදී දැක්මක් තිබේ. මනුෂ්‍යත්වයේ නාමයෙන් මේ මැදිහත්වීම සිදුවිය යුතුව තිබුණු බව මෙන්ම දිගුකාලීන මිතුරෙක් ලෙස ඉරානය සමග පැවැත්වූ රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවේ ගැඹුර අනුව රට ඉදිරියේ පැවතියේ පැහැර හැරිය නොහැකි වගකීමක් බවත් සැකයක් නැත.
එහෙත් අප මේ සිටින්නේ කිසිම සම්මුතියකට යටත් නැති ම්ලේච්ඡයින්ගේ යුද්ධයක් මැද බවට වූ වේදනාත්මක හැඟීම පමණක් හොල්මන් කරමින් ඇත.







