බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

හිජාබයට සැඟවූ වරලස මුදා හරින්නට ගොස් උපන් රටේ අපරාධකාරියක් වූ මාසියා…

by editor
ජූනි 7, 2020
in ජීවිතය
SAMSUNG CSC

SAMSUNG CSC

Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

හිජාබය නොපැලඳ වරලස මුදා හැරීමත්, ඉරාන රජය විවේචනය කිරීමත් නිසා මාසියා අලෙන්ජාඩ් දැනටමත් සෑහෙන වන්දියක් ගෙවා හමාරයි. ඇයට සිර දඬුවම් නියමවීම නිසා තම උපන් රට වූ ඉරානයට යාමටවත්, පවුලේ සාමාජිකයන් දැකබලා ගැනීමටවත් ඇයට ඉඩක් නෑ. මුස්ලිම් කාන්තාවට හිජාබයෙන් හිස ආවරණය කිරීමේ හෝ නොකිරීමේ අයිතිය ලැබිය යුතු බවයි ඇය පුන පුනා කියන්නේ.

මාසියා මුස්ලිම් ජාතික කාන්තාවක් වූවත් ඇය හිස ආවරණය කරන්නේ නෑ. ඇගේ රැලිගැසුණු හිසකෙස් උරහිස දක්වා මුදා හරිමින් ඇය අප්‍රමාණවූ නිදහසක් භුක්ති විඳිමිනුයි සිටින්නේ. ඇයට එසේ වුවත් එය දැන් ඉරානයේ දේශපාලනික කාරණාවක් බවට පත්වෙලා. ඉරානයේ මුස්ලිම් කාන්තාවගේ නිදහස වෙනුවෙන් නිහඬ අරගලයක නිරතව සිටින 43 හැවිරිදි මේ අපුරු කාන්තාව ජීවත් වන්නේ අමෙරිකාවේ නිව්යෝක් නගරයේ.

ඇය මාධ්‍යවේදිනියක්. ලේඛිකාවක්. දේශපාලන ක්‍රියාකාරිනියක්. ඒ සියල්ලටම වඩා ඇය කාන්තා හිමිකම් පිළිබඳ ක්‍රියාකාරිනියක්. ගෝලීය ජනමාධ්‍ය සඳහා වන අමෙරිකානු ඒජන්සියේ නියෝජිතවරයක්.  සම්මාන රැසකටම පාත්‍ර වූ ඇය ඉරාන රජයට නම් දේශද්‍රෝහී කාන්තාවක්. නව යොවුන් වියේ සිටම මාසියා ඉරානයේ අයතුල්ලා පාලනයට එරෙහිව හඬක් නැගූ අතර එරට කාන්තාවන්ට හිජාබය අනිවාර්ය කිරීමට එරෙහිව ප්‍රසිද්ධියේ රජය විවේචනයට ලක් කිරීමට පසුබට වුණේ නෑ. රාජ්‍ය විරෝධී කටයුතුවල නිරතවූ බවට චෝදනා කරමින් පොලිසිය විසින් මුලින්ම ඇය අත්අඩංගුවට ගනු ලබද්දී ඇයට අවුරුදු 19යි. ඉන් පසුව ඇයට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන නිකරුණේ සිරගත කරනු ලැබුවා.  ඇය එල්ලා මැරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඇතැයි එක්තරා විනිසුරුවරයකු ප්‍රකාශ කළත් පසුව ඇය නිදහස් කිරීමට පියවර ගෙන තිබුණා. මේ ‘අමුතු නිදහස‘ මාසියාගේ සිතට මහා වදයක් වුණා. එය ඇය නීත්‍යානුකූලව කොටුකරගැනීමට යෙදූ උපක්‍රමයක් බව ඇයට වැටහුණා.

ඇය උපන්නේ උතුරු ඉරානයේ ගොමිකෝලා නම් වූ දිළිඳු ගම්මානයකයි. ඇගේ පියා පදික වෙළෙන්ඳෙක්.  අකුරු ලිවීමට හෝ කියැවීමට නොදත් ඇගේ මව දරුවන් හයදෙනකු ඇති දැඩි කළේ එක් කාමරයක් පමණක් සහිත කුඩා නිවසකයි. නිර්භීත බව ඇය මුලින්ම ඉගෙන ගත්තේ ඇගේ වැඩිමල් සොයුරා නිසයි. නිර්භීත පෙනුමක් සහිත වූවත් ඇගේ සොයුරා රාත්‍රී අන්ධකාරයට දැඩි බියක් දැක්වුවා. ඔහුට රාත්‍රීයේ වැසිකිලියට යාමට පවා තනියට  ඇය යායුතුව තිබුණා. එය ඇගේ බිය තුරන් කිරීමට හේතුවූ මුල්ම සාධකයයි. අඳුර සමග ගනුදෙනු කරන ආකාරය ඇය උගත්තේ එලෙසිනුයි. ඒ වගේම ඇගේ මවත් ඇයට නිර්භීත වන්නට විශාල දිරියක් වුණා.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

‘අන්ධකාරය ඔබ ගිල දමන්නේ ඔබ ඔබේ බියට ඉඩ දුන්නොත් පමණයි. ඒ නිසා ඔබේ ඇස් හැකිතරම් පුළුල් කර අන්ධකාරයට මුහුණ දෙන්න.‘ඇගේ මවගේ මේ උපදෙස් මාසියාගේ සිත දිරිමත් කරන්නට සමත්වුණා. එය පසුකාලිනව ඇගේ ජිවිතයේ උදාන පාඨය බවටත් පත්වුණා.

‘ඉරානය කාන්තාවට අඳුරු තැනක්. ඒ නිසා ඔවුන් හැකිතරම් පුළුල් ලෙස දෑස් විවර කළ යුතුයි. අන්ධකාරයේ බිය තුරන් කර හැරිමට එකම මාර්ගය එයයි. ‘ ඇය මේ උපදේශය ඉරානයේ සියලුම කාන්තාවන්ට දැනෙන්නට සැලැස්සුවා.

1979 ඉරාන විප්ලවයෙන් ෂා රජු නෙරපා දමා අයතුල්ලා කොමෙයිනි බලයට පත්වීමත් සමග ඉරානය ඉස්ලාමීය රටක් වෙද්දී මාසියාට අවුරුදු තුනයි. ඒ මොහොතේ සිට සියල්ල වෙනස් වූ බවයි ඇය දැන් කියන්නේ.

‘විප්ලවයට පෙර මගේ පවුලේ අයගේ ඡායාරූප දෙස බලන විට, මගේ මව බටහිර කාන්තාවක් ලෙසයි හැඳපැලඳ සිටියේ. මගේ පියාටත් තිබුණේ කුඩා රැවුලක් පමණයි. නමුත් කොමෙයිනි පිරිමින්ට රැවුල කැපීම තහනම් කළා. ඒ අනුව පියාගේ රැවුලත් දිගට වැවුණා. මගේ මවත් සම්පූර්ණයෙන්ම අඳුරෙන් වැසුණු ඇඳුම් අඳින්නට පටන් ගත්තා. මට විප්ලවයෙන් පසුව පෙනුණේ සෑම කෙනෙක්ම අභාග්‍යසම්පන්න, මූසල, කාලකන්නි පිරිසක් බවට පත්වී ඇති බවකුයි. ඊට කළින් සතුටින් දිලිසුණු මගේ මව ඇතුළු කාන්තාවන්ගේ මුහුණු දුක්ඛිත පෙනුමකට හැරුණා.

සැබෑව නම් මාසියාගේ මාපියනුත් මේ විප්ලවයේ කොටස්කරුවන් බවට පත්වී සිටීමයි. ‘ඔවුන් දුප්පත්. ඔවුන්ට වඩා හොඳ රැකියා අවස්ථාවන් වුවමනා කළා. විප්ලවය මේ වෙනස ඇති කරනු ඇතැයි ඔවුන් සිතුවා. ඒත් විප්ලවයට පෙර තිබුණු සමාජ නිදහස කාන්තාවට නැත්තටම නැතිවුණා. ඉරාන කාන්තාවට විප්ලවයට කළින් පිරිමින්ට වගේ සමානව විවිධ අවස්ථාවන්ට සහභාගීවීමට ඉඩ ලැබුණා. ඔවුන්ට යම්කිසි ක්‍රීඩාවක නිරතවීමට, ව්‍යායාම් කිරීමට යාමට අවස්ථාව තිබුණා. ඒත් විප්ලවයෙන් පසුව කාන්තාවට ඒ සමාජ නිදහස අහිමිවුණා.‘ මාසියා අතීතය සිහිපත් කරන්නේ දුක්මුසු අයුරින්.

අන්තිමේදී විප්ලවවාදී පවුලක උපන් මාසියා ඔවුන්ගේ විප්ලවයට එරෙහිව විප්ලවවාදිනියක් බවට පත්වුණා. අවුරුදු හතේදී හිජාබය පැලඳීම අනිවාර්ය කළ විට ඇය ඊට විරෝධය පළ කළා. විප්ලවයෙන් පසුව මුලින්ම සිද්ධ වුණේ හිජාබය හඳුන්වා දී එය අනිවාර්ය කිරීමයි. ඊට පසුව පැමිණියේ කාන්තාව පාලනය කිරීමේ ක්‍රමවේදයයි. ඉරාන විප්ලවය කාන්තාවගේ සිරුර ප්‍රාණ ඇපයට ගත් බවයි ඇයට දැනුණේ.

පාසලේදී ඇය විරෝධතා ව්‍යාපාරයකට එක්වුණා. අවුරුදු 18 දී තවත් එවැනි ක්‍රියාකාරී තරුණයකු සමග විවාහ ගිවිස ගත්තා. ඒ කාරණාව නිසා දෙදෙනාම අත්අඩංගුවට පත්වුණා.

‘මට සිද්ධවුණු නරකම දෙය එයයි. මොකද ඒ වෙද්දි මගේ විවාහය සිදුවී තිබුණේ නෑ. ඒත් මම ගැබ්ගෙනයි සිටියේ. ඉතා භයානක ඉරණමකට මට මුහුණ පාන්න සිදුවුණා. සිරගත කිරීමෙන් පසුව මම මානසිකව කඩා වැටුණා. මම හිතුවේ මගේ ජීවිතය ඉවරයි කියලයි. තරුණ වියේ සිටි නිසා මාව හුදෙකලා කරනු ලැබුවා. නීතිඥයකුටවත් මුණ ගැසීමට අවස්ථාව ලබා දුන්නේ නෑ.

අවසානයේදී මාසියාට වසර 5ක සිර දඬුවමක් අත්විඳින්නට සිදුවුණා. ඒ වගේම කස පහරවල් 74ක් නියම වුණා. ඇගේ දඬුවම වසර තුනකට අත්හිටුවීමට විනිසුරු තීරණය කළේ ඇය තරුණ වියේ පසුවීම නිසයි. ඇය දරු ප්‍රසූතිය සිදු කිරීමෙන් පසුව ඇගේ සැමියා රීසා ඇගෙන් දික්කසාද වුණා.

“ඉරානයේ පිරිමින්ට තම බිරිය ඕනෑම මොහොතක දික්කසාද කරන්න පුළුවනි. ඒත් කාන්තාවට එසේ කරන්න බෑ. ඇය ඒ සඳහා සැමියාගේ අවසරය ඉල්ලා සිටිය යුතුයි.  එහි නරකම ප්‍රතිඵලය වූයේ ඒ වනවිට සිව් හැවිරිදි වියේ පසුවූ අපේ  පුතා පුයාන්ගේ භාරකාරත්වය සැමියාට හිමිවීමයි. ඊළඟ දශකය තුළ මට පුතා දැකීමට ලැබුණේ ඉඳහිට පමණයි.“

නමුත් දික්කසාදය ඇයට ගෙන දුන්නේ නිදහසක්. අපේ ගමේ දික්කසාද වුණු පළමු කාන්තාව මමයි‘
එය අවමානයක් බවයි ඇගේ පියාගේ අදහස වුණේ. මේ නිසා වහාම වෙනත් විවාහයක් සිදුකරගන්නා ලෙස ඔහු මාසියාට බල කළා. ඒත් ඒ යෝජනාව ඇය තරයේම ප්‍රතික්ෂේප කළා. මේ කරදරයෙන් මිදෙන්නට ඇය මාධ්‍යවේදිනියක ලෙස රැකියාවක් සොයා ගත් අතර ඊළඟ වසර කිහිපයේ දී ඇයට පාර්ලිමේන්තු වාර්තාකාරිනියක් විදියට කටයුතු කිරීමේ අවස්ථාව උදාවුණා. නමුත් එක්තරා දිනයක ඇය රතු පැහැති සපත්තු පැලඳ පාර්ලිමේන්තුවට පැමිණිම හේතුවෙන් ඇගේ අවසර පත්‍රය අවලංගු කරනු ලැබුවා.

සමාජ ක්‍රියාකාරිනියක් ලෙස කටයුතු කිරීමෙන් වසර කිහිපයකට පසුවු ඇය නැවතත් අත්අඩංගුවට පත්වීමේ අවදානමක් මතුවුණු නිසා ඇය එක්සත් රාජධානිය බලා පිටත්ව ගියා. ඒ වෙද්දී 33 හැවිරිදි වියේ පසුවූ මාසියා ඔක්ෆර්ඩ් බෘක්ස් විශ්ව විද්‍යාලයට ඇතුළත්ව නැවත අධ්‍යාපන කටයුතු ආරම්භ කළා. හිජාබයට එරෙහිව ඇය නැගී සිටියේ එංගලන්තයේදියි. ඉරානයේ කාන්තා අයිතිවාසිකම් ගැනත්, හිස නිරාවරණය කරගැනීමට මුස්ලිම් කාන්තාවට අයිතියක් තිබිය යුතු බවටත් ඇය හඬක් නැගුවා. එය එරට පුවත්පත්වලත්, ගුවන් විදුලියෙත් විශාල ප්‍රචාරයක් ලැබුණු සිදුවීමක් වුණා.

වසන්තය උදාවුණු එක්තරා උදෑසනක ඇය චෙරි මල් පිරුණු එංගලන්තයේ වීදියක නිදහසේ ඇවිද ගියා. හිජාබයෙන් නිරාවරණය වූ ඇගේ රැලි ගැසුණු හිසකෙස් සුළඟට ළෙල දුන්නා. ඇය සිටියේ දැඩි සතුටකින්. මේ සියල්ල ඉරාන කාන්තාවන්ට දැකගැනීමට ඇය ඉඩ සැලසුවේ එවැනි නිදහසක් භුක්ති විඳීමට ඔවුන්ටත් අයිතිය ඇයි බවට කියා පාමිනුයි. එහෙත් එය ඉරාන රජයේ උදහසට කාරණාවක් වුණා. ඒ ඡායාරූපය ගනු ලැබුවේ ඇගේ සහකරු කම්බිස් විසිනුයි. ඔවුන් එය ඇගේ මුහුණු පොතේ පළ කළා. ඊට අසීමිත ප්‍රතිචාර ලැබී තිබුණා. හිජාබය පැලඳිය යුතුද නැද්ද…? එහි අයිතිය ඉරාන කාන්තාව සතු බවයි මාසියා කියන්නේ.

දැන් මාසියාගේ එකම හීනය හිජාබයෙන් තොර සිය හිසකෙස් සුළඟට නිරාවරණය කරමින්  තම ආදරණිය මව සමග ඉරානයේ වීදියක අත්වැල් අල්ලාගෙන ඇවිද යාමයි. දැන් ඇගේ මවට අවුරුදු 65යි. පියාට අවුරුදු 75යි. සැබෑව නම් අවුරුදු 9කින් ඔවුන් එකිනෙකා දැක නොතිබීමයි. මාසියාගේ මාපියන්ට අන්තර්ජාල පහසුකම් නෑ. ඔවුන්ට සමාජ මාධ්‍යජාලා නෑ. ඒත් ඔවුන්ගේ එකම දියණිය මුහුණුපොතේ හා ට්විටර් වෙබ් අඩවියේ  මිලියන දෙකකට වැඩි පිරිසක් සමග අත්වැල් බැඳ සිටින එකම ඉරාන මාධ්‍යවේදිනියයි.

‘මම සෑම සතියකම අම්මා එක්ක දුරකතනයෙන් කතා කරනවා. අම්මා ඒ කාලයේ මට නිතරම කිව්වේ මම කරදරකාරියක් කියලයි. බියකරු හීනයක් කියලයි. මම හැම අතින්ම ඔවුන් කරදරයට පත්කළා. ඒත් මං දන්නවා අම්මා දැන් මා ගැන ආඩම්බර වෙනවා ඇති. විශේෂයෙන් තාත්තා. කොයි තරම් ප්‍රශ්න ඇති කළත් මම එයාගේ දුව කියලා එයා තවමත් හිතනවා ඇති. ඉදිරියටත් එහෙම හිතාවි. ‘ මාසියා එසේ කියන්නේ කඳුළු සඟවා ගනිමින්.

ඇය දැන් ඇගේ සහකරු කම්බිස් සමග විවාහ වී නිව්යෝක් නුවර බෘක්ලින් හී පදිංචිව සිටිනවා. ඇගේ පුතු පුයාන් දැන් 21 හැවිරිදි තරුණයෙක්. ඔහු දැන් ලන්ඩනයේ ජීවත්වන අතර සිනමා ක්ෂේත්‍රයට එක්වීමේ බලාපොරොත්තුවෙන් පසුවෙනවා. ඉරාන කාන්තාවගේ නිදහස වෙනුවෙන් කරන අරගලය නිසා ඇයට නැවත ඉරානයට යාමට නොහැකියි. ඒ වගේම ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ වීසා තහනම නිසා ඇයට අමෙරිකාවෙන් පිටවීමටත් නොහැකියි. කරුණු කිහිපයක් නිසා ඇගේ පුතාටත් ඇය හමුවීමට අමෙරිකාවට පැමිණිමට අවසර නෑ. ඒත් ඉරාන කාන්තාව අරභයා මාසියා විසින් ගෙන යනු ලබන අරගලය තවමත් ඒ අයුරින්ම සිදුවෙනවා.

Tags: නවතම
Share89Tweet43
Previous Post

මහඡන්දේ ඇස්තමේන්තුව කෝටි 200කින් නගී

Next Post

ඒජන්සි කරුවෝ මගහරිති… ග්‍රේ ෆාම් නෞකාවේ සිරවුුණු 180 අනාථයි…

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.