ලොකු කුමාර විසිනි –
ඉන්දියාව ලංකාවට ගුවනින් පරිප්පු දැමූ දිනවල එවකට අගමැති ආර්.ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ සිදු කරන ලද කට වාචාල කතාවක් හේතුවෙන් එවකට ජනපති ජේ.ආර්.ජයවර්ධන වැටුණේ අලි අමාරුවකය. මේ විපත ගැන කාටුනයක් ඇඳි යූනුස් ජේ.ආර්.නිකටට අත තබා ගෙන ඉන්නා කාටුනයක් ඇඳ මෙබඳු කවි කොටසක් පහල ලියා තිබුණේය.
එකක් කඩතොලු වසා ගන්නට – ගොසින් මට වුන කාරියා
දෙකක් කඩ තොලු හදා දුන්නැයි – කෙසෙල්වත්තේ ලැවරියා
අප මේ ලියන්නට හදන්නේ එවැනිම විපතක් ගැනය. ඊයේ පෙරේදා දවසක ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ආනන්ද විජේවික්‍රම මෙරට පුරවැසියන් හිත අවුස්සන ආත බූත මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණි. ඒ මෙරට භාවිතා වන හියුමන් ඉමියුනොග්ලිබිලින් එන්නත පිළිබඳවය.
මේ එන්නත ගැන දැන් මේ රටේ නොදන්නේ පහුගිය දවස්වල ඉපදුන කිරි සප්පයන් පමණය. මොන්ටසෝරි දරුවෙකුගෙන් හියුමන් ඉමියුනොග්බියුලින් ඖෂධය ගැන දන්නවාදැයි ඇසුවොත් ඒ අර “කෙහෙළිය රඹුක්වැල්ල අන්කල්” ගෙනා හොර බේත යැයි උත්තර දෙන එක නම් සීයයට දෙසීයක්ම ෂුවර්ය. හියුමන් ඉමියුනොග්බියුලින් ඖෂධයේ නම ඒ තරමටම මෙරට සමාජයට පත්තියන් වී තිබෙන නමකි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ආනන්ද විජේවික්‍රම පසුගිය දවසක නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ සඳහන් වූයේ මෙරට භාවිතා කෙරෙන හියුමන් ඉමියුනොග්බියුලින් ඖෂධයේ කිසිම වරදක් නැති බවටය. ඔහු එම නිවේදනයේ මෙසේ සඳහන් කර තිබේ.
“….ඉන්දියානු සමාගමක් විසින් එරටදී නිෂ්පාදනය කරන ඉමියුනොග්බියුලින් ඖෂධය සදහා මෙරට ලියාපදිංචිය ලබා දී ඇත්තේ 2023 අප්‍රේල් මාසයේ වන අතර ඖෂධයේ ගුණාත්මක භාවය සුරක්ෂිත භාවය පිළිබඳ සායනිකව සහ ඖෂධීය තත්වය පිළිබඳ නිසි ඇගයීමකින් පසු ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් ඊට ලියා පදිංචිය දී තිබේ. කෙසේ වෙතත්
ඉමියුනොග්බියුලින් ඖෂධය සම්බන්ධයෙන් ලැබුණ පැමිණිල්ලකට අදාලව කරන ලද පරීක්ෂණයකදී එම ඖෂධයේ තත්ත්වය පිළිබඳව ගැටලුකාරී බවක් පෙනී ගිය බැවින් ආරක්ෂාව හා අවදානම් කමිටුව මඟින් ඖෂධය භාවිතයෙන් ඉවත් කරන ලෙස වෛද්‍ය
සැපයුම් අංශය වෙත දැනුම් දී ඇත.”
“නමුත් පසුව මෙරට සිඳු කරන ලද පර්යේෂණ වලින් වලින් අනාවරණය වී ඇත්තේ එම ඖෂධය නිසි ප්‍රමිතියෙන් යුක්ත බවය. එමෙන්ම ඉන්දියාවේ මධ්‍යම තත්ත්ව පාලන ආයතනය මගින් එම ඖෂධය පිළිබඳ කරන තත්ත්ව පර්යේෂණ වලින්ද මේ බව තහවුරු කර තිබේ. එම වාර්තා සළකා බැලීමෙන් අනතුරුව විශේෂඥ වෛද්‍යවරුන් ගෙන් සමන්විත ආරක්ෂාව හා අවදානම් ඇගයීම් උප කමිටුව මඟින් එම ඖෂධය තවදුරටත් භාවිතා කළ හැකි බවට වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දී ඇත. ඒ නිසා අදාල ඖෂධයේ තත්ත්වය පිළිබඳව කිසිදු සැකයක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන අතර එම ඖෂධය නැවත භාවිතා කළ හැකිය..”
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිගේ මේ නිවේදනය නිකුත් වීමත් සමගම සයිබරය ගිනි ඇවිලෙන්නට පටන් ගත්තේ කෙහෙළිය රඹුක්වැල්ල අසත්‍ය චෝදනා මත බන්ධනාගාර කර ඇතැයි පැවසෙන අදහස් සමාජගත වෙමිනි. ඒ මන්ද යත්
කෙහෙළිය රඹුක්වැල්ල බන්ධනාගාර ගත කරන සිද්ධියට මේ එන්නත සම්බන්ධ නිසාය. ඒ නිසාම මේ නිවේදනය කියවූ බොහෝ දෙනා කෙහෙළියට සිඳු වූ දේ ගැන කම්පා වූහ. තවත් අයවළුන් ජාජබ ආණ්ඩුවට නින්දා පරිභව කරමින් පෝස්ටු ලියන්නට විය. මේ වන විටත් ඇතමුන් සිතා සිටින්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිගේ නිවේදනයේ සඳහන් වන්නේ කෙහෙළිය රඹුක්වැල්ලට චෝදනා කරන ලද බාල හියුමන් ඉමියොග්බියුලින් එන්නත සැපයීමේ සිද්ධිය බවය.
මේ නිවේදනය කියවූ හා කෙහෙළිය රඹුක්වැල්ල බාල එන්නත් සිද්ධියට අත් අඩංගුවට ගන්නා ලද සිද්ධියත් දන්නා අයට බරපතල අප්රභංශයක හිර වෙන්නට සිදුවන එක සාධාරණය. ඒ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ගේ නිවේදනය කොලේ වසා ගැස්සිල්ලක් යැයි සැකයක් මතුවන නිසාය. මේ සිද්ධි දෙකටම සම්බන්ධ එකම එන්නතය. එය එසේ වන්නේ නම් මේ පටලැවිල්ල ලිහා ගත යුතු වන්නේ කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ට මාංචු වැටුන බාල එන්නත් සිද්ධිය නැවත කියවීමෙනි.
හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත මෙරටට ගෙන්වන්නේ එක මාත්‍රාවකට රුපියල් 45000ක පමණ මුදලක් වැය කරමිනි. එම ඖෂධය මෙරට රෝහල් වල හිඟයක් ඇති යැයි ව්‍යාජ ඖෂධ හිඟයක් මවා පාමින් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සිදු කර තිබේ. එහිදී කෙහෙළිය රඹුක්වැල්ල ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා නෛතිකව බලය පැවරී තිබූ අතිරේක ලේකම්වරයා එම වගකීම් වලින් ඉවත් කර වෙනත් නිළධාරියෙකුට පවරා දෙන ලදී. එම නිළධාරීයා හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඔස්සේ මේ ඖෂධයේ තත්ත්වය පරීක්ෂා කිරීම පවා පැහැර හැර තිබුණි.
කෙසේ වෙතත් ව්‍යාජ ඖෂධ හිඟයක් මවා පාමින් සති තුනක් ඇතුළත ඖෂධ සැපයීමක් නොකළහොත් සෞඛ්‍ය පද්ධතිය කඩා වැටිය හැකි බවට කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සකස් කරන ලද්දේද එම නිළධාරියා විසිනි. තමන් විසින් ඒ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සකස් කරන ලද්දේ කෙහෙළිය රඹුක්වැල්ලගේ උපදෙස් මත බවද මෙම නඩුවේ සැකකාරයකු වූ එම නිළධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තර පවා දී තිබුණි. හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ඔස්සේ මෙරට සැපයුම් කරුවකුගෙන් මිලයට ගත් හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් තොගය මෙම සැපයුම් කරු නිෂ්පාදනය කර ඇත්තේ මෙරටදී බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි විය. මේ සැපයුම්කරු තමන්ගේ කර්මාන්ත ශාලාවක් තුළ එම ඖෂධය නිෂ්පාදනය කර තිබූ අතර ඔහු ඒ සඳහා භාවිතා කර තිබුනේ පළතුරු බීම නිෂ්පාදනය කරන යන්ත්‍ර සූත්‍ර බවද අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව විසින් අධිකරණයේදී අනාවරණය කෙරිණි. ඒ ඉමියුනොග්බියුලින් වැනි එන්නතක් නිෂ්පාදනය කිරීමට තරමේ ඉහළ තාක්ෂණයෙන් යුක්ත කර්මාන්ත ශාලාවක් මෙරට නොමැති බවද හෙළි වී තිබියදීය.
මේ සිද්ධියට අදාලව නඩු පවරා ඇති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් විසින් රජයේ මුදල් බිලියනයක් සාපරාධී සාවද්‍ය පරිහරණය කරන ලද බවටද මේ වන විට චෝදනා එල්ල වී තිබේ.
සැබැවින්ම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා මෙවැනි නිවේදනයක් නිකුත් කිරීමේදී පූර්වාපර සන්ධි ගලපා නිවේදනය නිකුත් කෙරුවානම් මෙරට සමාජයේ මෙතරම් ආන්දෝලනයක් මතු වන්නේ නැත. අනෙක් අතට ස්වකීය රාජකාරියට අදාල පැහැදිලි කිරීම මිස හෑලි ලිවීම එවැනි නිවේදනයකට අදාල වන්නේත් නැත. එහෙත් ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාගේ නිවේදනයේ ප්‍රකාශිත සිදුවීම ස්වකීය හිතලු සමග බද්ධ කරගෙන කෙහෙළිය රඹුක්වැල්ල බාල බෙහෙත් ගෙන ආ බවට චෝදනා කරමින් අත් අඩංගුවට ගෙන නඩු පැවරීම දේශපාලනික පළිගැනීමක් ලෙස මේ වන විට නිර්වචන වෙමින් තිබේ. අප දකින්නේ ජනපති අනුර සහෝදරයාගේ මෑනියන් පවා සිහිපත් කරමින් බැණ වදින තැනට කටයුතු යෙදී ඇති ආකාරය ය.
තමනුත් තමන්ගේ වගකීම් දරන පද්ධතියත් අනිවාරතේ ප්‍රහාරයට ලක් නොවී, ආණ්ඩුවටත් අහක යන නැව් ගුටි ටිපර් නොකර නිවේදනයක් නිකුත් කිරීම පවා මොනතරම් සැලකිය යුතු ගැඹුරකින් ආණ්ඩුවේ නිලධාරීන්ට කරන්නට සිදුවී ඇතිදැයි මේ සිදුවීම රටට කියා ඇත. කුපිත වී විකල්වුන පිරිස් මරාගෙන මැරෙන්නට අතට අසුන ඕනෑම දෙයක් භාවිතා කිරිම සදහා සූදානම් වූ සමාජ සංක්‍රාන්තියක කිසිම සිද්ධියක් සරලව සුමටව ගලාගෙන යන්නේ නැත.
ඉතිහාසයේ හෙළිදරවුවන තුච්ඡම කුපාඩියා වූ කෙහෙළියටත් හෑලි ලියන්නට සැරසී ඉන්නා නිරුවත් වානරයින් අප අතරම කොතෙකුත් වෙසෙන බවටවන දැනුම මේ අවස්ථාවේ බිහිසුණු විකල් ස්වරූපය පිළිබඳ ප්රකාශනයක් ලෙස සලකුණු කරගන්නා ලෙස ඉල්ලා සිටිමු.







