උපේක්ෂා උඩුවැරැල්ල –
පසුගිය සති අන්තයේ ඉස්ලාමාබාද්හි පැවැති සාකච්ඡා එකඟතාවයකින් තොරව බිඳ වැටීමත්, ඉරාන වරායන් ඉලක්ක කරමින් අමෙරිකානු නාවික හමුදාව විසින් දැඩි නාවික අවහිරතාවයක් (Naval Blockade) පැනවීමත් හේතුවෙන් මැදපෙරදිග කලාපය දැඩි යුද අර්බුදයකට මුහුණ දී සිටියත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදුකරන ලද නවතම ප්‍රකාශයක් හමුවේ ලෝක ප්‍රජාව යළිත් බලාපොරොත්තු දල්වා සිටියි.
ඉදිරි දින කිහිපය තුළ පාකිස්තානයේදී ඉරාන අර්බුදය සම්බන්ධයෙන් වන නව සාකච්ඡා වටයක් ආරම්භ වීමට ඉඩ ඇති බව ජනාධිපතිවරයා පවසයි.
යුදමය ගැටුම් තවදුරටත් ව්‍යාප්ත වීමට ඉඩ නොදී, ජාත්‍යන්තරය විසින් එල්ල කරන ලද දැඩි බලපෑම් හමුවේ මෙම තත්ත්වය සමනය වීමේ පෙරනිමිති පළවෙමින් පවතී. මෙහිදී විශේෂයෙන්ම චීනය විසින් සිදුකරන ලද සූක්ෂම මැදිහත්වීම, සහ නේටෝ සංවිධානයේ මිත්‍ර රටවල් පෙන්වන සංයමය මෙන්ම එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදය තුළ යුද්ධයට එරෙහිව ඇති වෙමින් පවතින ජන මතය මෙම තත්ත්වයට ප්‍රබල ලෙස බලපා ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
මේ වනවිට අත්ලාන්තික් සාගරයේ දෙපස වූ එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය තුළ යුද්ධයට එරෙහිව ගොඩනැගෙන මහජන විරෝධය පෙර නොවූ විරූ ලෙස වර්ධනය වෙමින් පවතී. විශේෂයෙන්ම එක්සත් රාජධානිය තුළ මෙම තත්ත්වය අතිශය තීරණාත්මක මට්ටමක පවතී. එරට වැසියන්ගෙන් 59%ක්ම හමුදාමය මැදිහත්වීම්වලට සිය දැඩි අකමැත්ත පළ කර තිබේ. යුද්ධය හේතුවෙන් ඇතිවිය හැකි දරුණු ආර්ථික පසුබෑම සහ බලශක්ති මිල ඉහළ යාම පිළිබඳව බ්‍රිතාන්‍ය වැසියන් තුළ පවතින්නේ දැඩි කනස්සල්ලකි. මෙම මහජන විරෝධය නිසාම අගමැති කියර් ස්ටාමර්ට අමෙරිකාවේ ඇතැම් හමුදාමය ක්‍රියාමාර්ග වලට සහාය දීමෙන් වැළකී සිටීමට දැඩි දේශපාලන පීඩනයක් එල්ල වී ඇති අයුරු විචාරකයෝ පෙන්වා දෙති.
අනෙක් පසින්, සාමාන්‍යයෙන් යුදමය ක්‍රියාමාර්ග සඳහා වැඩි නැඹුරුවක් දක්වන එක්සත් ජනපදය තුළ ද මේ වන විට යුද්ධයට එරෙහි මතය 51%ක බහුතරයක් දක්වා ඉහළ ගොස් ඇත. ඇත්ත වශයෙන්ම මෙය සලකුණු කළ යුතු සුවිශේෂී තත්ත්වයකි. අතිවිශාල බදු මුදල් ප්‍රමාණයක් අර්ථවත් නොවන විදේශීය ගැටුම් සඳහා වැය කිරීම වෙනුවට තම රටේ දේශීය අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවට වන “America First” වැනි මතවාද මෙම ජන මත විචලනයට ප්‍රබලව බලපා ඇත.
මෙම ද්විපාර්ශ්වීය මහජන පීඩනය හේතුවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පවා සිය දැඩි මතධාරී පිළිවෙතින් බැහැරව, සාකච්ඡා සහ රාජ්‍ය තාන්ත්‍රික මාවතකට අවතීර්ණ වීමට සිදුව ඇති බව මේ වනවිට පැහැදිලි වමින් ඇත.
තීරණාත්මක මැදිහත්කරුවෙකු ලෙස චීනයේ භූමිකාව

වර්තමාන ඉරාන අර්බුදයේ වඩාත්ම දිරිගන්වනසුලු පෙරළිය සිදුව ඇත්තේ බීජිං පාලනය හරහාය. චීනය විසින් අතිශය මැනවින් සැලසුම් කළ සහ කාර්යක්ෂම රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් දියත් කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සති දෙකක කාලයක් සඳහා අස්ථාවර මට්ටමේ හෝ සටන් විරාමයක් පවත්වා ගැනීමට හැකි විය. මෙය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා සාකච්ඡා මාර්ගය විවෘතව තබා ගැනීමට චීනය සමත්ව තිබේ.
චීන නිලධාරීන් පෙන්වා දෙන්නේ ඉස්ලාමාබාද් සාකච්ඡා යනු හුදෙක් හමුවීමක් නොව, තත්ත්වය සමනය කිරීම (De-escalation) සඳහා තැබූ ඉතා වැදගත් පියවරක් බවයි. ලෝකයේ සමස්ත තෙල් ප්‍රවාහනයෙන් පහෙන් එකක් ගමන් කරන හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීම චීනයේ මෙන්ම සමස්ත ලෝකයේම ආර්ථික ස්ථාවරත්වයට තීරණාත්මක වේ. මෙම බලශක්ති මාර්ග ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ගැටුමකට නොගොස් දේශපාලනමය විසඳුමක් සෙවිය යුතු බව චීනය දැඩිව අවධාරණය කරයි.
ඉරාන අර්බුදය අවසන් කිරීමට ගෝලීය එකඟතාවක්

ඉරාන වරායන් ඉලක්ක කරගනිමින් අමෙරිකාව විසින් ක්‍රියාත්මක කරන ලද නාවික අවහිරතාවයට (Naval Blockade) සහාය දීම නේටෝ (NATO) සංවිධානයේ මිත්‍ර රටවල් ප්‍රතික්ෂේප කළේය. එම තීරණය වර්තමාන අර්බුදයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්ව තිබේ.
බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ඇතුළු ප්‍රමුඛ පෙළේ යුරෝපීය රාජ්‍යයන් හෝමූස් සමුද්‍ර සන්ධියේ ක්‍රියාත්මක වන අමෙරිකානු නාවික මෙහෙයුම් සඳහා සෘජුව දායක වීම නිල වශයෙන් ප්‍රතික්ෂේප කර ඇත. ඒ වෙනුවට ඔවුන් යෝජනා කරන්නේ ගැටුම් සමනය වූ වහාම නාවික ගමනාගමනයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා බහුපාර්ශවීය ඒකාබද්ධ වැඩපිළිවෙළක් දියත් කළ යුතු බවය. ගැටුම් ඇති කර ගැනීම වෙනුවට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හරහා වැදගත් වෙළඳ මාර්ග විවෘතව තබා ගැනීම මෙමගින් අපේක්ෂා කෙරේ.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඇතුළු යුරෝපීය නායකයින් අවධාරණය කරන්නේ, නාවික අවහිරතාවයට සම්බන්ධ නොවී නාවික ගමනාගමනයේ ආරක්ෂාව තහවුරු කිරීමට වෙනත් විකල්ප මාර්ග තිබෙන බවය. නේටෝ සංවිධානය සමස්තයක් ලෙස සංඥා කර සිටින්නේ ගැටුමෙන් පසු ඇතිවන ස්ථාවරත්වය ඇති කිරීමේ ක්‍රියාවලියට පමණක් තමන් දායක වන බවය.
මෙම සාමූහික සංයමය හුදෙක් පසුබෑමක් නොව, සියලු පාර්ශවයන්ට සාකච්ඡා මේසයට පැමිණීමට කරන බලපෑමක් ලෙස දේශපාලන විචාරකයෝ දකිති. මෙමඟින් න්‍යෂ්ටික ගැටලු, බැලස්ටික් මිසයිල සහ කලාපීය නියෝජිත කණ්ඩායම් (Regional Proxies) පිළිබඳ ගැටලු ප්‍රචණ්ඩත්වයෙන් තොරව විසඳා ගැනීමට “මහා සම්මුතියකට” (Grand Bargain) මග පෑදෙනු ඇත.
හමුදාමය ක්‍රියාමාර්ග වෙනුවට රාජ්‍ය තාන්ත්‍රික සහ මැනවින් සැලසුම් කළ දේශපාලන විසඳුම් සඳහා ජාත්‍යන්තර ප්‍රජාව දක්වන මෙම ස්ථාවරය බිලියන සංඛ්‍යාත ජනතාවකගේ බලශක්ති ආරක්ෂාව තහවුරු කරන අතරම, සටන් විරාමය බිඳ වැටීමේ අවදානමද අවම කරයි.
බලාපොරොත්තු සහගත ඉදිරි ගමනක්
මෙම සුබවාදී වර්ධනයන් මධ්‍යයේ පාකිස්තානයේදී යළි ආරම්භ වීමට නියමිත අමෙරිකා – ඉරාන සාකච්ඡා ඉතා වැදගත් අවස්ථාවකි. චීනය විසින් සටන් විරාමයට ලබාදුන් පහසුකම්, සාමය වෙනුවෙන් වන බ්‍රිතාන්‍ය මහජන මතය සහ නේටෝ සංවිධානයේ රාජ්‍ය තාන්ත්‍රික කැපවීම යන සියල්ල එක්ව සැකය සහ අවිශ්වාසය වෙනුවට විශ්වාසය ගොඩනැගීමට සමත්ව තිබේ. මෙම සාකච්ඡා සාර්ථක වුවහොත් වරායන් යළි විවෘත කිරීම, සාමාන්‍ය නාවික ගමනාගමනය ස්ථාපිත කිරීම සහ ආර්ථික සහන සැලසීම වැනි ප්‍රතිලාභ රැසක් මැදපෙරදිගට මෙන්ම සමස්ත ලෝකයටම උදා වනු ඇත.
සැක සංකා සහ අභියෝග තවමත් පවතින නමුත්, චීනයේ මැදිහත්වීම, ප්‍රජාතන්ත්‍රවාදී මහජන කැමැත්ත සහ නේටෝ සංවිධානයේ බුද්ධිමත් සංයමය හරහා රාජ්‍ය තාන්ත්‍රිකභාවය යළිත් වරක් ජයග්‍රහණය කරමින් සිටින බව පැහැදිලිය. මේ සතියේ නියෝජිත කණ්ඩායම් යළි හමුවන විට, මුළු ලෝකයම බලාපොරොත්තු තබා සිටින්නේ කලාපයට මෙන්ම ලෝකයටම අත්‍යවශ්‍යව පවතින එම ස්ථාවර සාමය උදාවනු ඇති බවය.
ජනාධිපති ට්‍රම්ප් පවා පිළිගෙන ඇත්තේ, ඉරානය සාකච්ඡා මේසයට ගෙන ඒමට බීජිං පාලනය “නිහඬ නමුත් අතිශය තීරණාත්මක” මෙහෙවරක් කළ බවයි. මීට පෙර සෞදි – ඉරාන සබඳතා යථා තත්ත්වයට පත් කිරීමට චීනය ලබාදුන් මැදිහත්වීම හා සමානවම, මෙවර ද චීනය මැදපෙරදිග සාමයේ පාලම බවට පත්වෙමින් සිටියි. අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් පෙන්වා දුන් පරිදි, ඉරානය සමග ඇති කරගත හැකි “මහා සම්මුතියකදී” (Grand Bargain) චීනයේ මෙම ස්ථාවරය අතිශය වැදගත් වනු ඇත.
ලෝකය හමුවේ පරාජය වන ට්‍රම්ප් වියරුව

ලෝකයම පෙළ ගැසෙන්නේ රාජ්‍ය තාන්ත්‍රික මාවතක් වෙතය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දැඩි මතධාරී පිළිවෙත හමුවේ ජාත්‍යන්තරය තුළ ක්‍රමයෙන් හුදකලා වෙමින් සිටී. තම සමීපතම නේටෝ මිත්‍ර පාර්ශවයන්ගේ සහය අහිමි වීමත්, චීනය වැනි ප්‍රබල රාජ්‍යයන් සාමයේ මැදිහත්කරුවෙකු ලෙස ඉදිරියට ඒමත් හමුවේ, අමෙරිකානු ජනාධිපතිවරයාට සිය ආක්‍රමණශීලී උපායමාර්ගවලින් පසුබැසීමට සිදුව ඇත. තවදුරටත් තනි පාර්ශවීය තීරණ හරහා ලෝකය මෙහෙයවීමට නොහැකි බවත්, ගෝලීය සහයෝගිතාවය හමුවේ තම “බලහත්කාරී දේශපාලනය” පරාජය වෙමින් පවතින බවත් ට්‍රම්ප්ට වැටහෙමින් තිබේ. මේ වන විට ට්‍රම්ප් සාකච්ඡා මේසයට නැඹුරු වෙමින් ඇත්තේ හුදෙක් රාජ්‍ය නායකයෙකුට වඩා, වෙනස් වන ලෝක දේශපාලන ප්‍රවාහය හමුවේ අසරණ වූ තනි පුද්ගලයෙකු ලෙසය.
මේ යුද්ධයේ පිරිවැය ලෝකයට ලබා දී ඇති සාධනීය වෙනස ට්‍රම්ප් නියෝජනය කරන බලය මත ඒක පාර්ශවීයව ලෝකය පාලනය කිරීමට ඇති හැකියාව පිළිබඳ සාධකය තව දුරටත් වලංගු නොවන බව නිශ්චිත ලෙස තහවුරු වීමය. දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව ඇති වූ මානව සම්මුතික එකඟතා සහිත ගෝලීය සමාජ සදාචාරය ව්‍යසනයට ලක් කළ ට්‍රම්ප්ගේ අධිකාරී දේශපාලන මතවාදය ලෝකය ඉදිරියේ පරාජයට පත් වීම මානව සංහතියේ ඉදිරි ගමනට යහපත් ප්‍රවේශයක් සපයනු ඇති බවට විශ්වාස කරමු.







