උපේක්ෂා උඩුවැරැල්ල –
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් වූ ජාත්‍යන්තර මුහුදු සීමාවේදී, සම්පූර්ණයෙන්ම බොරතෙල් පටවා තිබූ ‘ටිෆානි’ (Tifani) නමැති දැවැන්ත තෙල් නැවක් ඇමෙරිකානු නාවික හමුදාව විසින් ඊයේ (21) අළුයම සිය භාරයට ගත්තේය .
මෙහෙයුම, ජාත්‍යන්තර නාවික ක්ෂේත්රය තුළ දැඩි කතාබහට ලක්ව ඇති සිදුවීමකි. ඩොලර් මිලියන ගණනක් වටිනා බොරතෙල් තොගයක් සහිතව සිංගප්පූරුව බලා යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාව, අත්අඩංගුවට පත්වීමට දින දෙකකට පෙර ශ්‍රී ලංකාවේ ගාල්ල වරාය ආසන්නයේ ද කෙටි නැවැත්වීමක් සිදු කර තිබීම විශේෂත්වයකි.
මෙම මෙහෙයුම සාමාන්‍ය නාවික මෙහෙයුමකට වඩා එහා ගිය භූ-දේශපාලනික බලපෑමක් සහිත එකකි.
‘ටිෆානි’ නෞකාව ජාත්‍යන්තරව හඳුන්වනු ලබන්නේ ‘සෙවණැලි බලඇණිය’ (Shadow Fleet) ලෙස හැඳින්වෙන නෞකා කණ්ඩායමක ප්‍රධාන සාමාජිකයෙකු ලෙසය. මෙම නෞකා කණ්ඩායම ඉරානය වැනි සම්බාධක පනවා ඇති රටවලින් රහසිගතව තෙල් ප්‍රවාහනය කිරීමට භාවිත කෙරේ. මෙහි ඇති තවත් වැදගත් කරුණක් වන්නේ, මෙම නෞකාව කළමනාකරණය කරනු ලබන්නේ ඉරානය සමඟ තෙල් ගනුදෙනු කිරීම හේතුවෙන් දැනටමත් ඇමෙරිකානු සම්බාධකවලට ලක්ව ඇති ඉන්දීය සමාගමක් විසින් වීමය.
නෞකාවේ ගමන් මාර්ග දත්ත, ඇමෙරිකානු රජයේ වාර්තා සහ ‘MarineTraffic’ වැනි ජාත්‍යන්තර නාවික තොරතුරු මූලාශ්‍ර පදනම් කරගනිමින් අපි මේ සිදුවීමේ ගැඹුරු කතාව විමසා බලමු. පහත දිගුවෙ දැක්වෙන්නේ මෙහෙයුම සිදුවුන ආකාරයයි.
Overnight, U.S. forces conducted a right-of-visit, maritime interdiction and boarding of the stateless sanctioned M/T Tifani without incident in the INDOPACOM area of responsibility.⁰⁰As we have made clear, we will pursue global maritime enforcement efforts to disrupt illicit… pic.twitter.com/EGwDe3dBI3
— Department of War 🇺🇸 (@DeptofWar) April 21, 2026
2003 වසරේ නිෂ්පාදිත ‘ටිෆානි’ (IMO අංකය: 9273337) යනු අතිවිශාල බොරතෙල් ප්‍රවාහන නෞකාවකි. මෙයට වරකට බොරතෙල් ටොන් ලක්ෂ 3ක් (බැරල් මිලියන 2ක් පමණ) ප්‍රවාහනය කිරීමේ හැකියාව පවතී. දිගින් මීටර් 330ක් සහ පළලින් මීටර් 60ක් වන මෙය, සම්පූර්ණයෙන් භාණ්ඩ පටවා ඇති අවස්ථාවකදී පවා සූවස් ඇළ හරහා යාත්‍රා කළ හැකි ‘Suezmax’ පන්තියේ විශාලතම නෞකාවකි.
වර්තමාන ධජය: බොට්ස්වානා (මීට පෙර පලාවු ධජය යටතේ ලියාපදිංචි වී තිබුණි).
- සංඥා නාමය (Call sign): A2AB46.
- ලියාපදිංචි අයිතිකරු: World Crew Provider NV -(සුරිනාම් නැමැති අත්ලාන්තික් වෙරළ තීරයේ පිහිටි කුඩා රට පදනම් කරගත් සමාගමකි).
- වාණිජ හා තාක්ෂණික කළමනාකරු: ENSA Ship Management Private Limited (එන්සා ෂිප් මැනේජ්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් – ඉන්දියාව පදනම් කරගත් සමාගමකි).
මෙම නෞකාව 2026 අප්‍රේල් 10 වනදා පර්සියානු ගල්ෆ් කලාපයෙන් පිටත්ව ඇති අතර, අප්‍රේල් 18 වනදා ගාල්ල වරාය ආසන්නයේ මඳ වේලාවක් නතර කර තිබේ. ඇමෙරිකානු නාවික හමුදාව නෞකාවට ඇතුළු වී එය පාලනයට ගැනීමෙන් පසු, නෞකාව සිය ගමන් මාර්ගය හදිසියේ වෙනස් කර ඇති බව දත්ත මගින් තහවුරු වේ. මෙම මෙහෙයුම කිසිදු ගැටුමකින් තොරව සාමකාමීව සිදු වූ බව ඇමෙරිකානු බලධාරීහු පවසති.
ඇමෙරිකානු සම්බාධක සහ ‘ටිෆානි’ ඉලක්ක වීමට හේතුව
2025 ජූලි 30 වනදා සිටම ‘ටිෆානි’ නෞකාව ඇමෙරිකානු සම්බාධක ලැයිස්තුවට ඇතුළත් කර තිබුණි. ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය (OFAC) මගින් නිකුත් කර ඇති 13846 දරන විධායක නියෝගය යටතේ මෙම පියවර ගෙන ඇතැයි වාර්තා වේ. ඉරානයට සිය ඛනිජ තෙල් අලෙවි කිරීමට උදව් කරන ඕනෑම පාර්ශවයකට එරෙහිව මෙම නීතිය ක්‍රියාත්මක වේ.
නෞකාව අත්අඩංගුවට ගැනීමට හේතු වූ ප්‍රධාන කරුණු:
- රහසිගත තෙල් හුවමාරුව: 2024 දෙසැම්බර් මාසයේ සිට අවස්ථා දෙකකදී, සිංගප්පූරු මුහුදු සීමාවේදී එක් නැවක සිට තවත් නැවකට (STS) තෙල් මාරු කිරීමේ ක්‍රමවේදය හරහා මෙම නෞකාව ඉරාන තෙල් පටවාගෙන තිබේ.
- ස්ථානය වසං කිරීම (Dark Activity): නෞකාවේ පිහිටීම පෙන්වන ස්වයංක්‍රීය හඳුනාගැනීමේ පද්ධතිය (AIS) අක්‍රිය කර තබමින් හොර රහසේ ගමන් කිරීම. මෙය සම්බාධක මඟහැරීමට ‘සෙවණැලි බලඇණිය’ භාවිත කරන ප්‍රධාන උපායකි.
- තහනම් තෙල් ප්‍රවාහනය: මෙම නෞකාව ලබාගත් තෙල් මීට පෙර ඇමෙරිකාව විසින් සම්බාධක පනවන ලද ඉරාන ධජය සහිත නෞකාවලින් ලබාගත් ඒවා බවට තහවුරු වී ඇත.
මෙම හේතූන් මත, ‘ටිෆානි’ නෞකාව සමඟ ගනුදෙනු කිරීම ඇමෙරිකානු පුරවැසියන්ට සහ සමාගම්වලට තහනම් වන අතර, ජාත්‍යන්තර බැංකු පද්ධතිය තුළ ද මෙම නෞකාව අවදානම් සහගත දේපළක් ලෙස නම් කර තිබේ.
ඉන්දීය සබඳතාව: එන්සා ෂිප් මැනේජ්මන්ට් (ENSA) –මෙම සිදුවීම ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට වඩාත් වැදගත් වන්නේ එහි ඇති ඉන්දීය සබඳතාව නිසාවෙනි. ‘ටිෆානි’ නෞකාවේ දෛනික මෙහෙයුම් සහ කළමනාකරණ කටයුතු සිදු කරනු ලබන්නේ ඉන්දියාවේ මුම්බායි නගරය පදනම් කරගත් ‘එන්සා ෂිප් මැනේජ්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ්’ (ENSA Ship Management Private Limited) නමැති සමාගම විසිනි.
එන්සා ෂිප් මැනේජ්මන්ට් (ENSA): සම්බාධකවලට හසු වූ ඉන්දීය සමාගම – ටිෆානි’ නෞකාවේ මෙහෙයුම් කටයුතු පිටුපස සිටින ප්‍රධාන බලවේගය වන්නේ ඉන්දියාවේ මුම්බායි නුවර ලියාපදිංචි ‘එන්සා ෂිප් මැනේජ්මන්ට්’ (ENSA Ship Management) සමාගමය. මෙම සමාගම පිළිබඳව අනාවරණය වී ඇති කරුණු මෙසේය:
මෙම සමාගම ඉන්දියාවේ ලියාපදිංචි කර ඇත්තේ 2024 නොවැම්බර් 11 වනදාය. එනම් ඇමෙරිකානු සම්බාධක පැනවීමට මාස කිහිපයකට පෙර සිටය. එහි ලිපිනය: HD-441, 4 වන මහල, වී-වර්ක් ස්පෙක්ට්‍රම් ටවර්, මලාඩ් වෙස්ට්, මුම්බායි, මහාරාෂ්ට්‍ර 400064 වේ.
2024 දෙසැම්බර් 18 වනදා සිට ‘ටිෆානි’ නෞකාවේ වාණිජ සහ ආරක්ෂක කළමනාකාරීත්වය මෙම සමාගම විසින් භාරගෙන තිබිනි.
2025 ජූලි 30 වනදා ඇමෙරිකාව විසින් ‘එන්සා’ සමාගමට එරෙහිව සෘජුවම සම්බාධක පැනවීය. එයට හේතුව වූයේ ඉරානයෙන් ඛනිජ තෙල් මිලදී ගැනීම, විකිණීම, ප්‍රවාහනය හෝ අලෙවිකරණය වැනි ගනුදෙනුවල මෙම සමාගම දැනුවත්ව නිරත වීමය.
‘එන්සා’ යනු ‘මර්ස්ක්’ (Maersk) වැනි ලෝක ප්‍රකට නාවික දැවැන්තයෙකු නොවේ. එය සාපේක්ෂව නවක, කුඩා පෞද්ගලික සමාගමකි. එහෙත් සම්බාධක පනවා ඇති ඉරාන තෙල් ප්‍රවාහනය කිරීම වැනි අවදානම් සහගත ව්‍යාපාරයකට මෙම සමාගම පිවිස ඇති බව පෙනේ. ඇමෙරිකානු නිලධාරීන් පවසන්නේ ‘ටිෆානි’ නෞකාව පාලනය කිරීම හරහා මෙම සමාගම ඉරානයේ තෙල් වෙළඳාමට සෘජු දායකත්වයක් ලබා දී ඇති බවය.
ඉන්දියාව සහ ඉරාන තෙල් අතර පවතින්නේ සංකීර්ණ සබඳතාවයකි. මීට පෙර ඉන්දියාව විශාල වශයෙන් ඉරාන තෙල් මිලදී ගත් නමුත් ඇමෙරිකානු සම්බාධක නිසා එය අසීරු විය. බොහෝ ඉන්දීය සමාගම් මෙවැනි ‘සෙවණැලි බලඇණි’ (Shadow Fleet) සමඟ සම්බන්ධ නොවීමට වගබලා ගත්තද, ‘එන්සා’ වැනි කුඩා සමාගම් කිහිපයක් මෙම අභියෝගාත්මක වෙළෙඳාමට ප්‍රවේශ වී තිබේ.

මෙම සිදුවීම මේ මොහොතේ වැදගත් වන්නේ ඇයි?
‘ටිෆානි’ නෞකාව අත්අඩංගුවට ගත් කාලසීමාව ඉතා තීරණාත්මක ය. මෙම මෙහෙයුමට දින දෙකකට පෙර, එනම් අප්‍රේල් 19 වනදා ඇමෙරිකාව විසින් අරාබි මුහුදේදී ‘ටවුස්කා’ (Touska) නමැති තවත් ඉරාන සබඳතා සහිත නෞකාවක් සිය භාරයට ගෙන තිබුණි. ‘ටවුස්කා’ මෙහෙයුමේදී යම් බලහත්කාරයක් භාවිත කළද, ‘ටිෆානි’ නෞකාව අත්අඩංගුවට ගැනීම ඉතා සාමකාමීව සිදු වූ බව වාර්තා වේ.
මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවර සටන් විරාම කාලසීමාව තුළ ඉරානයේ තෙල් අපනයනය නතර කිරීමට ඇමෙරිකාව ගෙන යන දැඩි වැඩපිළිවෙළක කොටසක් ලෙස මෙම මෙහෙයුම් හඳුනාගත හැකිය.
ශ්‍රී ලංකාවට මෙය සෘජුවම බලපාන්නේ නෞකාව අත්අඩංගුවට ගත් ස්ථානය ලංකාවට කිලෝමීටර් 700ක් වැනි කෙටි දුරකින් පිහිටා තිබීම නිසාය. මෙය ශ්‍රී ලංකාව විසින් නාවික ආරක්ෂාව නිරීක්ෂණය කරන කලාපයට අයත් වේ. විශේෂයෙන්ම ගාල්ල වරාය ආසන්නයේ මෙම නෞකාව නතර කර තිබීම හරහා ගෝලීය සම්බාධක යුද්ධයේ සෙවණැලි අපේ දොරකඩටම පැමිණ ඇති බව පැහැදිලි වේ.
නාවික ක්ෂේත්රයට මෙය ලබා දෙන පණිවිඩය වන්නේ ඇමෙරිකාව සිය සම්බාධක නීති ඉතා තදින් ක්‍රියාත්මක කරන බවයි. ඉන්දියන් සාගරය වැනි විශාල මුහුදු සීමාවක සැඟවී ගමන් කිරීමට උත්සාහ කළද, ඕනෑම නෞකාවක් හඹා ගොස් තම බලයට නතු කරගත හැකි බලය ඇමරිකාව මෙහිදී ඔප්පු කර තිබේ.
ඉදිරියට කුමක් සිදුවේද?
2026 අප්‍රේල් 21 වනදා වන විට ‘ටිෆානි’ නෞකාව ඉන්දියන් සාගරයේ ඇමෙරිකානු නාවික පාලනය යටතේ පවතී. එහි සිටින කාර්ය මණ්ඩලයට කිසිදු අනතුරක් සිදු වී නොමැති බව වාර්තා වේ. නෞකාවේ ඇති ටොන් ලක්ෂ 3කට ආසන්න බොරතෙල් තොගය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ඇමෙරිකානු අධීක්ෂණය යටතේ සිදු වනු ඇත. බොහෝ දුරට එම තෙල් තොගය රාජසන්තක කිරීමට හෝ ඇමෙරිකානු අධිකරණ නියෝග යටතේ අලෙවි කිරීමට ඉඩ ඇත.
මෙම පුවත තවදුරටත් වර්ධනය වෙමින් පවතින අතර, එය බලවත් රටවල් අතර දේශපාලනය, රහසිගත තෙල් වෙළඳාම සහ ඉන්දීය සමාගම්වල මැදිහත්වීම පිළිබඳ අපූරු උදාහරණයකි. ශ්‍රී ලංකාව වටා ඇති මහ මුහුද යනු හිස් අවකාශයක් නොව, සම්බාධක, මුදල් සහ භූ-දේශපාලනික අරගල දිනපතා හමු වන ඉතා කාර්යබහුල මාවතක් බව ‘ටිෆානි’ නෞකාවේ කතාව අපට මතක් කර දෙයි.
මේ මුලු කතාව තුළ මෙය කියවන ඔබට නිරායාසයෙන් මතු විය හැකි ප්‍රශ්නයක් තිබේ. ලෝකයම ඇමරිකාව තුළ ඇතැයි සිතමින් ඇමරිකාව විසින් දියත් කරන මේ කුපාඩි බලය සහ නීතිය කුමක් ද යන්නය.
ඇමෙරිකානු සම්බාධක (US Sanctions) යනු මොනවාද?
සරලවම කිවහොත්, සම්බාධක යනු ආර්ථික අවියකි. යම් රටක්, පුද්ගලයෙක් හෝ ආයතනයක් ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට හෝ විදේශ ප්‍රතිපත්තියට තර්ජනයක් යැයි ඇමෙරිකාව තීරණය කළහොත්, ඔවුන් සමඟ ගනුදෙනු කිරීම තහනම් කරමින් පනවනු ලබන නීති මාලාව සම්බාධක ලෙස හැඳින්වේ. තේරුම් ගත යුත්තේ එහි නිශ්චිත පදනම ඇමරිකාවට හානි වනු ඇතැයි යන උපකල්පනය පමණය.
ඇමරිකාව පනවන ප්‍රධාන වර්ග දෙකකි:
ප්‍රාථමික සම්බාධක (Primary Sanctions): ඇමෙරිකානු පුරවැසියන්ට සහ ඇමෙරිකානු සමාගම්වලට අදාළ රට හෝ පුද්ගලයා සමඟ ගනුදෙනු කිරීම තහනම් කිරීම.
ද්විතීයික සම්බාධක (Secondary Sanctions): මෙය වඩාත් බලවත්ය. මෙහිදී ඇමෙරිකාව පවසන්නේ, “ඔබ අදාළ රට (උදා: ඉරානය) සමඟ ගනුදෙනු කළහොත්, ඔබට නැවත කිසිදා ඇමෙරිකානු මූල්‍ය පද්ධතිය හෝ ඩොලරය භාවිතා කිරීමට ඉඩ නොදෙන” බවය.
වෙනත් රටක නෞකාවක් අත්අඩංගුවට ගැනීමට ඇති හිමිකම ලැබෙන්නේ කොහොමද?
ඇමෙරිකාව මෙවැනි මෙහෙයුම් සඳහා ප්‍රධාන වශයෙන් කරුණු තුනක් පදනම් කර ගනී:
- ඇමෙරිකානු මූල්‍ය පද්ධතියේ සහ ඩොලරයේ ආධිපත්‍යය
ලෝකයේ තෙල් වෙළඳාමෙන් බහුතරයක් සිදු වන්නේ ඇමෙරිකානු ඩොලර් (USD) මගිනි. යම් නෞකාවක් හෝ සමාගමක් ඉරාන තෙල් විකුණා මුදල් ලබා ගැනීමේදී ලෝකයේ ඕනෑම තැනක සිට ඇමෙරිකානු බැංකු පද්ධතිය හෝ ඩොලර් ගනුදෙනු පද්ධතිය (SWIFT වැනි) භාවිතා කරන්නේ නම්, එම ගනුදෙනුව ඇමෙරිකානු නීතියට යටත් වන බව ඔවුන් තර්ක කරයි. ඒ හරහා එම දේපළ (නෞකාව හෝ භාණ්ඩ) තහනම් කිරීමට ඔවුන්ට නෛතික බලයක් ඇතැයි ඔවුන් සලකයි.
- දේශීය නීති ජාත්‍යන්තරයට බලපැවැත්වීම (Extraterritorial Jurisdiction)
ඇමෙරිකාව විසින් සම්මත කරගෙන ඇති ‘විධායක නියෝග’ (Executive Orders) මගින්, ඇමෙරිකානු ආරක්ෂාවට තර්ජනයක් වන ඕනෑම ක්‍රියාවකට ලෝකයේ කොහේ සිට සම්බන්ධ වුවද දඬුවම් කිරීමට ඔවුන් තීරණය කර ඇත. ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීමට උත්සාහ කරන බව පවසමින්, එම ප්රයත්නයට මුදල් සපයන ප්‍රධාන මාර්ගය වන තෙල් අපනයනය නතර කිරීමට තමන්ට අයිතියක් ඇති බව ඔවුන් ලෝකයට පෙන්වයි.
- ජාත්‍යන්තර මුහුදු නීතියේ ‘සිදුරු’ භාවිතා කිරීම
බොහෝවිට මෙම ‘ටිෆානි’ වැනි නෞකා අත්අඩංගුවට ගන්නේ ඒවා ලියාපදිංචි කර ඇති රටවල් (බොට්ස්වානා, පැනමා, පලාවු වැනි) සමඟ පවතින රාජ්‍යතාන්ත්‍රික එකඟතා මත හෝ එම රටවල් නෞකාවේ ලියාපදිංචිය අවලංගු කළ විටය. නෞකාවකට නිල ධජයක් (Flag) නොමැති වූ විට එය ඕනෑම රටකට පරීක්ෂා කළ හැකි ‘අරාජික’ දේපළක් බවට පත්වේ.
මෙය සාධාරණද?
මෙහිදී පැහැදිලිවම පවතින්නේ “බලවතාගේ නීතිය ය”. එය පොදු වහරේ හැඳින්වෙන්නේ කැලෑ නීතිය ලෙසය.
- ඇමෙරිකාවට මෙවැනි දේ කිරීමට හැකි වී ඇත්තේ ඔවුන් සතු අසමසම නාවික බලය (මුහුදේ ඕනෑම තැනක මෙහෙයුම් කළ හැකි වීම) පදනම් කරගනිමිනි.
- අනෙක් අතින් ලෝකයේ බැංකු පද්ධතිය පාලනය කිරීමේ හැකියාව තමන් සතු බැවිනි.
- මේ තත්ත්වය තුළ තමන්ට එරෙහි වන රටවලට ආර්ථික වශයෙන් දැඩි දඬුවම් දීමට ඇති හැකියාව සහිත බැවිනි.
මෙය තනිකරම ජාත්‍යන්තර නීතියට වඩා ඇමෙරිකාවේ දේශපාලන සහ ආර්ථික උපායමාර්ගික බලය (Geopolitical Power) මත පදනම් වූ ක්‍රියාවලියකි. මේ හැසිරීම ශිෂ්ඨාචාරවත් ලෝකයක සම්මුතීන් බිඳ දමන ආකාරය පිළිබඳව ලෝක විද්වතුන් අතර දීර්ඝ කාලයක් තුළ ගැඹුරු සංවාදයක් තිබිණි. පොදුවේ මේ තත්ත්වය පැති දෙකකින් විග්රහ කරගත හැකිය.
- ජාත්‍යන්තර නීතිය අනුව (එක්සත් ජාතීන්ගේ ස්ථාවරය)
ජාත්‍යන්තරව පිළිගත් සම්මතය වන්නේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය (UN Security Council) මගින් පනවනු ලබන සම්බාධක පමණි. එවැනි සම්බාධක පැනවූ විට ලෝකයේ සෑම රටක්ම එයට ගරු කිරීමට බැඳී සිටී.
නමුත් ඇමෙරිකාව පනවන මෙම සම්බාධක “ඒකපාර්ශ්වික සම්බාධක” (Unilateral Sanctions) ලෙස හැඳින්වේ. මේවාට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුමැතියක් නොමැත. බොහෝ ජාත්‍යන්තර නීති විශාරදයින් පෙන්වා දෙන්නේ වෙනත් ස්වෛරී රාජ්‍යයක වෙළඳාමට මෙලෙස බලපෑම් කිරීම සහ ජාත්‍යන්තර මුහුදේදී නෞකා අත්අඩංගුවට ගැනීම එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියට (UN Charter) පටහැනි බවය. ඒ අනුව බලන කල, මෙය ජාත්‍යන්තරව “සම්මත” දෙයක් නොවේ.
- “ඇමෙරිකානු සුවිශේෂීවාදය” (US Exceptionalism)
ඇමෙරිකාව “තමන් මුළු ලෝකයම” ලෙස සලකා කටයුතු කරන බවට එල්ල වන චෝදනාව දේශපාලන විද්‍යාවේදී හඳුන්වන්නේ “ඇමෙරිකානු සුවිශේෂීවාදය” ලෙසය. ඔවුන් විශ්වාස කරන්නේ ලෝකයේ සාමය සහ ආරක්ෂාව රැකීමේ “ලෝක පොලිස්කාරයාගේ” භූමිකාව තමන් සතු බවය.
මෙය අසංස්කෘතික හැසිරීමක් ලෙස දැකීමට ප්‍රධාන හේතු කිහිපයක් තිබේ එකක් මෙය ලෝකයේ ජාතියක ස්වෛරී භාවයට එල්ලවන අශිෂ්ඨ ප්‍රහාරයක් වීමය. ඉන්දියාවේ සමාගමක්, බොට්ස්වානා ධජය සහිත නෞකාවකින්, ඉරානයේ තෙල් රැගෙන සිංගප්පූරුවට යන විට, එයට මැදිහත් වීමට ඇමෙරිකාවට ඇති අයිතිය කුමක්ද? මෙහිදී සලකුණු වන්නේ අදාළ රටවල් තුනේම ස්වෛරීභාවය ඇමෙරිකාව විසින් නොසලකා හරිනු ලැබීමය.
එමෙන්ම ලෝකයේ පොදු ගනුදෙනු මාධ්‍යයක් වන ඩොලරය, තමන්ට අවශ්‍ය පරිදි රටවල් මෙල්ල කිරීමට “දඬුවම් දෙන අවියක්” ලෙස භාවිත කිරීම සදාචාරාත්මක නොවන බවට චීනය, රුසියාව සහ ඉන්දියාව වැනි රටවල් පවා දිගින් දිගටම චෝදනා කරමින් සිටින පසුබිමක එම දණ්ඩනය ඇමරිකාව විසින් දිගටම පවත්වාගෙන යන්නේය.
තවද ජාත්‍යන්තර මුහුදු නීතිය (UNCLOS) අනුව, යුධමය වාතාවරණයක් නොමැතිව ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරන නෞකාවකට බලහත්කාරයෙන් ඇතුළු වීමට වෙනත් රටකට ඇති අයිතිය ඉතා සීමිතය.
එහෙත් යථාර්ථය බොහෝ වෙනස් එකකිය . ප්‍රකාශිත ඇත්ත නම් බලය යනු යුක්තිය ය (Might is Right). නූතන ලෝක දේශපාලන යථාර්ථය වන්නේ බලය ඇත්තාගේ වචනය නීතිය වේ” යන අමිහිරි ඇත්තය. ඇමෙරිකාවට මෙලෙස හැසිරීමට හැකි වී ඇත්තේ ඔවුන්ගේ ආර්ථික සහ මිලිටරි බලය හමුවේ ඔවුන්ට අභියෝග කිරීමට වෙනත් රටවල් මැලි වන බැවිනි.
ශිෂ්ඨාචාරවත් ලෝකයක් ප්‍රාර්ථනා කරන ජාත්‍යන්තර නීතිය තුළ ඇමරිකාවේ මෙම හැසිරීම අනුමත වන්නේ නැත. නමුත් ඇමෙරිකාව විසින් මෙහෙයවන වත්මන් ලෝක දේශපාලන ක්‍රමය තුළ ඔවුන් මෙය “බලහත්කාරයෙන් සම්මතයක්” බවට පත් කරගෙන ඇත.
බොහෝ විචාරකයින් මෙය හඳුන්වන්නේ “නූතන මුහුදු මංකොල්ලයක්” (Modern Piracy) හෝ “ආර්ථික අධිරාජ්‍යවාදයක්” ලෙසය. තමන්ට අවනත නොවන රටවල් හුදකලා කිරීමට නීතිය තමන්ට අවශ්‍ය පරිදි අර්ථකථනය කර ගැනීම ශිෂ්ඨ ලෝකයක ලක්ෂණයක් නොවේ. එහෙත් මේ මොහොත වනවිට ලෝක යථාර්ථය වී ඇත්තේ ඒ නින්දිත අශිෂ්ඨත්වය ය.

නෞකාව අත්අඩංගුවට ගැනීමට හේතු වූ ප්‍රධාන කරුණු:






