උපේක්ෂා උඩුවැරැල්ල –
පතල් කම්කරුවන් සිය ගණනකගේ සාමාන්‍ය සේවා මුරය ආරම්භ වී තිබිණි. රාත්‍රිය ගැරඹුරු අඳුරක ගිලී ගොස්ය. චීනයේ ප්‍රමුඛතම ගල්අඟුරු නිෂ්පාදන කලාපයක් වන ශැන්ක්සි ප්‍රාන්තයේ කින්යුවෑන්හි පිහිටි ලියුෂෙන්යු ගල්අඟුරු පතල තුළ මීටර සිය ගණනක ගැඹුරු භූගත පරිශ්‍රය තුළ කම්කරුවන් 247ක් සේවයේ යෙදී සිටියහ.
ලියුෂෙන්යු පතල මෙහෙයවන්නේ ‘ශැන්ක්සි තොන්ග්ෂු ගෲප් ‘ (Shanxi Tongzhou Group) ආයතනය විසිනි. එය චීනියේ ප්‍රධාන බලශක්ති සම්පතක් ලෙස සැලකෙන ව්‍යාපාරයකි. කාලය ගෙවී යමින් ඇත්තේය. වෙලාව සිකුරාදා රාත්‍රි 7:29 ට පමණ ඇත. එක්වරම හාත්පස කම්පා කරමින් දැවැන්ත පිපිරීමක් සිදු විය.
පතල තුළ සිදුවන්නේ ගෑස් පිපිරීමකි. ඒ සමඟින් කාන්දු වූ අධික විෂ දුම සහ වායුව භූ ගර්භයේ පිහිටි කුටිර වසා ගත්තේය. එය තේරුම් ගැනීමට උත්සාහයක්වත් නොකළ යුතු බිහිසුණු මොහොතකි. පොලොව අභ්‍යන්තරයේ සියලු දෙනා කොටු වූහ. මිදී පලා යෑම සිහිනකි. ජිවිත් වීමේ කාලය සලකුණු වෙමින් ඇත්තේ තත්පර ගණනිනි. මිනිස්සු ජීවිත අපේක්ෂාවෙන් දුමෙන් වැසි ගිය අඳුරු පොලෝ පත්ලේ දිව යමින් සිටියහ.
වසර 15කට වැඩි කාලයක් තුළ චීනයෙන් වාර්තා වූ බේරීමට නොහැකි දරුණුතම පතල් අනතුර සිදුවන්නේ ඒ අයුරිනි. අද උදෑසන වන විට අනතුරින් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව අවම වශයෙන් 90ක් දක්වා ඉහළ ගොස්ය. මරණ සංඛ්‍යාව තවත් ඉහළ යන බව පැහැදිලිය. අතුරුදන් වූවන් සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකය.

පිපිරීම කුමක් ද?
මෙම දරුණු ගෑස් පිපිරීමට හේතු වූ නිශ්චිත තාක්ෂණික කරුණු මෙතෙක් නිල වශයෙන් අනාවරණය කර නොමැති වුවද, මූලික විමර්ශනවලට අනුව එය පතල් අභ්‍යන්තරයේ මෙතේන් හෝ ගල්අඟුරු වායූන් අධික ලෙස තැන්පත් වී පසුව ගිනි ගැනීමෙන් සිදු වූවක් බවට හඳුනාගෙන තිබේ.
කෙසේ වෙතත්, අනතුර සිදුවීමට සුළු මොහොතකට පෙර පතල් භූගත පරිශ්‍රයේ කාබන් මොනොක්සයිඩ් වායු මට්ටම පවතින ආරක්ෂිත සීමාවන් ඉක්මවා ගොස් ඇති බව වාර්තා වී ඇත. මාරක පිපිරීමට සුළු වෙලාවකට පෙර පතල තුළ සවිකර තිබූ සංවේදක (Sensors) මඟින් මේ පිළිබඳව අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කර තිබූ බව ද නවතම වාර්තා හෙළි කරයි.
කිව යුත්තේ මේ අනතුර හුදු අහම්බයක් නොව, පරිපාලනයේ කාලකණ්ණි නොසලකා හැරීම්වල නියත ප්‍රතිඵලයක් බවය. මීට පෙර චීන ජාතික පතල් ආරක්ෂණ පරිපාලනය (China’s National Mine Safety Administration) විසින් 2024 වසරේදී මෙම ලියුෂෙන්යු ගල්අඟුරු පතල අධික වායු ධාරිතාවක් සහිත, අනතුරු සිදුවීමේ ඉහළ අවදානමක් පවතින (High-risk site) ස්ථානයක් ලෙස කළු ලේඛනගත කර තිබූ එකකි.
මේ තත්ත්වය අහම්බයක් නොවන බව දැන් සැක සිතන්නේ ඒ නිසාය. පතල තුළ වාතාශ්‍රය පද්ධතියේ බිඳවැටීමක්, උපකරණවල දෝෂයක් හෝ ආරක්ෂක පටිපාටි නිසි ලෙස අනුගමනය නොකිරීමක් මේ විනාශයට හේතු වූයේද යන්න පිළිබඳව බලධාරීන් තවදුරටත් පුළුල් විමර්ශන පවත්වමින් ඇත. පතල මෙහෙයවන ‘ශැන්ක්සි තොන්ග්ෂු සමූහයේ’ විධායක නිලධාරීන් මේ වන විටත් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් ඇත.

මරණයේ අත් දැකීම
රෝහල් ඇඳක් මත සිට මාධ්‍යවේදීන් අමතමින් මෙම බියකරු අත්දැකීමෙන් දිවි ගලවා ගත් වැන්ග් යොන්ග් නම් සේවකයා ප්‍රකාශ කළේ තමා 311 වන වැඩබිම් කලාපයේ සිටින විට ක්ෂණිකව අවට ප්‍රදේශයම දුමෙන් වැසී ගිය බවය. විශාල ශබ්දයක් නෑසුණද, වෙඩි බෙහෙත් හෝ රතිඤ්ඤා වැනි තද ගන්ධයක් දැනුණු වහාම තමා අනෙක් අයට දුවන ලෙස කෑගැසූ බවත්, දිව යන අතරතුර විෂ දුමාරය නිසා මිනිසුන් ඇද වැටෙනු දුටු බවත් ඔහු පැවසීය. පසුව සිහිය නැති වූ වැන්ග්, පැයකට පමණ පසු සිහිය ලබා නැවතත් අනෙක් අයට ආරක්ෂිත ස්ථාන කරා ළඟාවීමට උදවු කර තිබේ.
ශැන්ක්සි කලාපයේ පතල් කැණීම පරම්පරා ගණනාවක ජීවනෝපාය වී ඇති බැවින්, ගම්මාන රැසක පවුල් සිය ගණනක් මුළු රාත්‍රිය පුරාම දැඩි කනස්සල්ලෙන් පසුවූහ. ඇතැම් සේවකයින් මෑතකදී පතලේ පැරණි කොටස්වල සිට මෙම නව කලාපය වෙත මාරු කර එවා තිබූ අය වෙති. දිවි ගලවා ගත් අයගේ පවුල්වලට සහනයක් දැනුණද, තම ආදරණීයයන් අහිමි වූ සහ තවමත් තොරතුරක් නොමැති පවුල්වල වැලපීම දරාගත නොහැකි එකක් විය.
පතල් කම්කරුවෙකුගේ සහෝදරියක වන ලී ෆෑන් ප්‍රකාශ කළේ තම සහෝදරයා රාත්‍රී සේවා මුරයේ නොසිටි බැවින් අනතුරෙන් බේරුණු බවය. අතුරුදන් වූවන්ගේ ඥාතීහු තම ආදරණීයයන්ගේ දුරකථන ක්‍රියා විරහිත වී ඇති බව කියති. දිවා සේවා මුරයේ සේවය කළ පළපුරුදු කම්කරුවෙකු වූ ජෑන්ග් ලීගේ පියා වැනි අය, ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී මුදාගැනීමේ කණ්ඩායම් සමඟ එක්ව සෙවීම් කටයුතුවල නිරත වෙති.

තුවාල ලැබූවන් සහ අතුරුදන් වූවන්ගේ වත්මන් තත්ත්වය
මැයි 23 වන සෙනසුරාදා සන්ධ්‍යාව වන විට ලැබී ඇති අලුත්ම වාර්තාවලට අනුව අනතුරින් මියගිය සංඛ්‍යාව 90ක් දක්වා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත්තේ, පතල තුළ තිබී තවත් මළසිරුරු කිහිපයක් සොයා ගැනීම සහ රෝහල්ගත කර සිටි බරපතළ තුවාල ලැබූවන් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්වීම හේතුවෙනි. පිපිරීම සිදුවන අවස්ථාවේදී පතල තුළ සේවය කරමින් සිටි සමස්ත සේවකයින් 247 දෙනා අතුරින් 201 දෙනෙකු සෙනසුරාදා උදෑසන වන විට මතුපිටට ගැනීමට සහන කණ්ඩායම් සමත් විය.
කෙසේ වෙතත්, සෙනසුරාදා පස්වරු 7:00 වන විටත් තවත් පතල් කම්කරුවන් 9 දෙනෙකු භූගත පතල තුළ සිරවී අතුරුදන්ව සිටිති. ඔවුන් සොයා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක වේ.
මේ වන විට දිවි ගලවා ගත් පතල් කම්කරුවන් 120කට අධික පිරිසක් රෝහල්ගත කර ඇත. ඔවුන්ගෙන් බහුතරයක් කාබන් මොනොක්සයිඩ් වායුව ශ්වසනය කිරීම නිසා ඇතිවූ විෂවීම් සහ සංකූලතාවලින් දැඩි ලෙස පීඩා විඳිති. තත්ත්වය තවදුරටත් බරපතළ වෙමින් පවතී. ඛේදවාචකයේ කම්පිත යථාර්ථය බිහිසුණු ලෙස තවදුරටත් වෙනස් වීමට ඉඩ ඇතැයි ප්‍රාදේශීය වෛද්‍ය සහ සහන සේවා අංශ පෙන්වා දෙයි.
පීඩාවට පත් පවුල් සහ දිවි ගලවා ගත් අය වෙනුවෙන් මනෝවිද්‍යාත්මක උපදේශන සේවා ද රෝහල් තුළ ආරම්භ කර ඇත.
චීනයේ කර්මාන්ත ක්ෂේත්‍රයට අවශ්‍ය බලශක්තිය සපයන ප්‍රධානතම කේන්ද්‍රස්ථානය ශැන්ක්සි ප්‍රාන්තය වුවද, ඒ වෙනුවෙන් ගෙවීමට සිදුව ඇති මිනිස් ජීවිතවල වන්දිය අතිමහත්ය. 2000 දශකයේ මුල් භාගයේ සිට ආරක්ෂක නීති දැඩි කර ඇති බැවින් මෙවැනි මහා පරිමාණ අනතුරු දුර්ලභ වුවද, මෙම සිදුවීම පතල් කම්කරුවන් දිනපතා මුහුණ දෙන අවදානම නැවත වරක් සිහිපත් කර දෙයි.
චීන ජනපතිගේ නියෝගය
චීන ජනාධිපති ෂී ජින්පින් මෙම අනතුර පිළිබඳව වහාම ප්‍රතිචාර දක්වමින්, මිනිස් ජීවිත බේරා ගැනීමට සහ තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීමට හැකි උපරිම පියවර ගන්නා ලෙස මුදාගැනීමේ කණ්ඩායම්වලට නියෝග කළේය. එමෙන්ම මේ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන්ට දැඩි දඬුවම් පමුණුවන ලෙසද ඔහු අවධාරණය කළේය. අග්‍රාමාත්‍ය ලී කියැන්ග් ද විනිවිදභාවයෙන් යුතුව යුක්තිය ඉටුකිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.
ඒ අනුව බලධාරීන් වහාම ක්‍රියාත්මක වී ශැන්ක්සි ප්‍රාන්තයෙන් පුද්ගලයින් 755 දෙනෙකුගෙන් යුත් මුදාගැනීමේ සහ වෛද්‍ය කණ්ඩායම් 7ක් ද, විශේෂඥයින් 345 දෙනෙකුගෙන් යුත් ජාතික පතල් හදිසි අනතුරු මෙහෙයුම් කණ්ඩායම් 6ක් ද අනතුර සිදු වූ ස්ථානය වෙත පිටත් කර හැර ඇත. පරීක්ෂණ කටයුතු ඉදිරියට යමින් තිබේ.
දීප්තිමත් තැඹිලි පැහැති ඇඳුම් සහ කහ පැහැති හිස්වැසුම් පැළඳි සහන සේවා නිලධාරීන්, ගිලන් රථ සහ බර යන්ත්‍රෝපකරණ ආධාරයෙන් පතල් ද්වාරය අසල දැඩි කැපවීමෙන් යුතුව මෙහෙයුම්වල නිරත වන අයුරු දැකගත හැකිය.
ගම්මානවල ඛේදවාචකය
කින්යුවෑන් සහ ඒ අවට ප්‍රදේශවල පවුල්වලට මෙම ඛේදවාචකය දැඩි පෞද්ගලික බලපෑමක් එල්ල කර ඇත. මෙම කම්කරුවන් බොහෝ දෙනෙකු තම භාර්යාවන්, දරුවන් සහ වයෝවෘද්ධ දෙමාපියන් නඩත්තු කළ පවුල්වල එකම ජීවනෝපාය සපයන්නන්ය. රැකියා සීමිත මෙම කලාපයේ ගල්අඟුරු පතල් මඟින් ආදායම් මාර්ග සැලසුණද, එය නිරන්තර බිය සහ සැකය මධ්‍යයේ සිදුවන්නකි.
චීනය වසර ගණනාවක් තිස්සේ පතල් ආරක්ෂණ ක්‍රමවේදයන්හි සැබෑ ප්‍රගතියක් අත්කර ගෙන තිබුණද, මෙවැනි සිදුවීම් පෙන්වා දෙන්නේ රට ශක්තිමත් කරන ශ්‍රමිකයන් ආරක්ෂා කිරීම සඳහා අඛණ්ඩ අවධානය සහ දැඩි නියාමනයක් අවශ්‍ය බවය. කින්යුවෑන් හි ජනතාව මෙන්ම සමස්ත චීනයේම පතල් කම්කරු ප්‍රජාව, මෙම කම්පිත ජීවිත හානියෙන් බලධාරීන් ඉගෙන ගන්නා පාඩම් මොනවාදැයි දැඩි අවධානයෙන් බලා සිටිති.






