මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කරන XI දෙනා නම් කර ඇත. දිමුත් කරුණාරත්න, නිශාන් මධුෂ්ක, පැතුම් නිශ්ශංක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා (නායක), කමිඳු මෙන්ඩිස්, මිලාන් රත්නායක, ප්‍රභාත් ජයසූරිය,ලහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු අද කණ්ඩායමට තරග වදිති.
තරග ගණනාවක් එක දිගට අසමත් වූ කුසල් මෙන්ඩිස් කණ්ඩායමෙන් ඉවත් කර වසර දෙකකට පසු පැතුම් නිශ්ශංක ටෙස්ට් කණ්ඩායමට කැඳවා තිබේ. පැතුම් නිශ්ශංකත් ආරම්භ පිතිකරුවෙකි. ඔහු කණ්ඩායමට කැඳවන්නේ අංක තුන පිතිකරු වෙනුවටය.
ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස අත් හදා බලමින් සිටින නිශාන් මධුශ්ක පුහුණු තරගයේ දී හොඳින් ක්‍රීඩා කළ ද පසුගිය තරග දෙකේ ඉනිම දෙකේ දීම ලබා ගත්තේ ලකුණු 04ක් පමණි. එසේම අනුයාත ටෙස්ට් තරගක කිපයක අසමත් මධුෂ්ක කැපී පෙනෙන දස්කමක් දක්වා නැත. කෙසේ වෙතත් තවමත් 22 හැවිරිදි මෙම ක්‍රීඩකයාට තව අවස්ථාවක් ලබා දීමට කළමණාකාරිත්වය තීන්දු කිරිම වැදගත් ප්‍රවේශයක් වනු ඇත.
පසුගිය තරගයේ ඉනිම දෙකේදීම මුල් පෙල අසාර්ථක වෙද්දී තරගය ඇදගෙන ආවේ මැද පෙළ ක්‍රීඩකයින්ය. පසුගිය තරගය පැවැත්වූ ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේදී රසල් ආනල්ඩ්ට පසු ශතකයක් ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට කමිඳු මෙන්ඩිස් පත්වූයේය. එම තරගයේ දෙවැනි ඉනිමේ දී සිය මාපටැඟිල්ලට එල්ල වූ දරුණු පහරකින් සුවය ලබා සිය ස්ථානය රැක ගැනීමට සමත්ව තිබේ. පන්දු යැවීමේ පෙරමුණේ, වමත්වේග පන්දු යවන විශ්ව ප්‍රනාන්දුගේ වෙනුවට ලහිරු කුමාර නැවත වරක් කණ්ඩායමට කැඳවා ඇත.
1984 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම ලෝඩ්ස් පිටියේදී සහභාගි වන 9 වැනි ටෙස්ට් තරගය මෙය ය. විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම කිසි දිනක ලෝඩ්ස් පිටියේදී ටෙස්ට් තරගයක් ජයගෙන නොතිබීම.
නමුත් ඔවුන් ලෝඩ්ස් පිටියේ දී ලේසියෙන් පරාජය වන්නේත් නැත. ශ්‍රි ලංකා කණ්ඩායම ලෝඩ්ස් පිටියේ දී පරාජය වී ඇත්තේ තරග දෙකකි. ඒ 1991 දී ය. ඉන් පසු ශ්‍රී ලංකාව ලෝඩ්ස් පිටියේ ක්‍රීඩා කළ තරග පහේ දීම තරග ජය පරාජයෙන් තොරව කෙළවර විය.
ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හිදී සිය දෙවැනි ඉනිමේ ශතකය තිබියදීත්, කමිඳුගේ ටෙස්ට් ලකුණු සාමාන්‍යය පහත වැටී ඇත. තරඟාවලිය ආරම්භයේදී ඔහුගේ ලකුණ සාමාන්‍ය 107 කි. ඔහු ක්‍රීඩා කර තිබුණේ ටෙස්ට් තරග තුනකි. මේ දක්වා ඔහු ටෙස්ට් ඉනිම 07ක් ක්‍රීඩා කර ඇත. එම ඉනිම් හත තුළ ශතක තුනක් සහ තවත් අර්ධ ශතක දෙකකි. එහෙත් එංගලන්තය සමග මුල් තරගය නිමාවන විට ඔහුගේ ලකුණු සාමාන්‍යය 92.16 කි.
දිමුත් කරුණාරත්නට ටෙස්ට් ලකුණු 7000 ලබා ගැනීමට තවත් ලකුණු 72ක් අවශ්‍යය. ප්‍රභාත් ජයසූරිය මෙන්ම අසිත ප්‍රනාන්දු විශිෂ්ට සංකලනයක් වී සිටි අයුරු මුල් තරගයේ ප්‍රකට විය. සිය දෙවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කරන මිලාන් රත්නායක පළමු තරගයේ දී පිත්තෙන් ලෝක වාර්තාවක් තැබූ අයුරුත් අපේක්ෂා සහගත පන්දු යැවීමක නිරත වූ අයුරුත් සිහි කළ යුතුය. තරගාවලි ජයග්‍රහණයක් සඳහා මේ තරගය ශ්‍රි ලංකා කණ්ඩායමට මෙන්ම එංගලන්ත කණ්ඩායමට ද ඉතාම වැදගත් තරගයකි.







