ඉඳුනිල් කහටපිටිය –
බංගලාදේශ කණ්ඩායම ඉන්දියාවේ පැවැත්වෙන තරග සඳහා ඉන්දියාවට පැමිණීමට අවසානයේ දී තීරණය වෙමින් ඇති ආකාරය මේ වනවිට නිරීක්ෂණය වෙමින් තිබේ.
දෙරට අතර ඇති වෙමින් පවතින රාජ්‍ය තාන්ත්‍රික නොරිස්සීම ප්‍රකාශයට පත් වුන ක්‍රිකට් සිදුවීම් මාලාවකින් පසු බංගලාදේශය ඉන්දියාවේ සංචාරය කිරිම ප්‍රතික්ෂේප කළේය. ESPNcricinfo වාර්තා කළේ එක්කෝ ඉන්දියාවට පැමිණිය යුතු බවත්, නැතහොත් තරගාවලියෙන් ඉවත් වීමට සිදුවනු ඇති බවත් ICC ය විසින් බංගලාදේශයට දන්වා ඇති බවය.
කෙසේ වෙතත්, බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තමන් ICC ය සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව පසුව ප්‍රකාශ කළේය. ජනවාරි 13 වන දින මේ සම්බන්ධව ICC සහ බංගලාදේශ ක්‍රිකට් ආයතනය පැවැත්වූ ඉහළ මට්ටමේ වීඩියෝ සම්මන්ත්‍රණයකින් පසුව, 2026 T20 ලෝක කුසලානයට බංග්ලාදේශයේ සහභාගීත්වය සම්බන්ධයෙන් “හැකි විසඳුම් ගවේෂණය කිරීම දිගටම කරගෙන යාමට” දෙපාර්ශ්වයම එකඟ වූයේය.
ඉන්දියාවට නොයෑම සම්බන්ධයෙන් බංගලාදේශ ක්‍රිකට් ආයතනය ස්ථිරව සිටියද, “කාරණාව විසඳීම” සඳහා සාකච්ඡා ඵලදායී ලෙස සිදුවෙමින් පවතින බව නිල ඒකාබද්ධ ස්ථාවරය බව ප්‍රකාශයට පත් වී ඇත්තේය. එහෙත් බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ඔවුන්ගේ තරග ශ්‍රී ලංකාවට හෝ වෙනත් මධ්‍යස්ථ ස්ථානයකට රැගෙන යෑමට විධිමත්ව කළ ඉල්ලීම ICC සලකා බලා නැත.
බංගලාදේශය මතුකරන ආරක්ෂක තර්ජනය පිළිබඳ තර්කය ICC ය ප්‍රතික්ෂේප කර තිබේ. ඔවුන්ගේ ආරක්ෂක සමාලෝචනය අනුව ඉන්දියාව තුළ බංගලාදේශයට ආරක්ෂක ගැටලුවක් පැන නගින්නේ නැත. එමෙන්ම ICC ය ප්‍රකාශිත කාල සටහන වෙනස් කිරීමට තවමත් කටයුතු කර නොමැත. බංගලාදේශය තවමත් ක්‍රීඩා කිරීමට නිල වශයෙන් ලයිස්තුගත කර ඇත්තේ කොල්කටා ඊඩන් ගාර්ඩ්න් ක්‍රීඩාංගනයේ සහ මුම්බායිහි වෙන්කඩේ ක්‍රීඩාංගනයේදී ය.
මේ සියලු තත්ත්වයන් හරහා විචාරකයින් පුරෝකථනය කරනුයේ බංගලාදේශය 2026 විස්සයි 20 ලෝක කුසලානයට සහභාගී වනු ඇති බවත්, ලයිස්තු ගත කළ ලෙස ඔවුන්ගේ තරග කොල්කටාහි ඊඩ්න් ගාර්ඩන්ස් (Eden Gardens) සහ මුම්බායිහි වෙන්කඩේ (Wankhede) ක්‍රීඩාංගණවල පැවැත්වීමට නියමිත බවත්ය.
ICC නිවැරදි ද?
2026 ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියේ මුල් වටයේ තරග ඉන්දියාවේ ක්‍රීඩා කළ යුතු බවට බංග්ලාදේශයට බලපෑම් කිරීම තාක්ෂණිකව ICC රෙගුලාසිවලට අනුකූල විය හැකි වුවත්, ඉන්දියාව සම්බන්ධයෙන් ICC ය දක්වන නම්‍යශීලී බව අනෙක් රටවල් සම්බන්ධයෙන් නොදැක්වීම “අසාධාරණ සහ පක්ෂපාතී” ක්‍රියාවක් ලෙස ජාත්‍යාන්තර විශ්ලේෂකයන්ගේ මතය ය. එම විවේචනය එල්ලවන්නේ සහේතුකව බව පෙනේ.
The Express Tribune, S2J News, සහ ඇතැම් බටහිර ක්‍රිකට් විචාරකයින්) පෙන්වා දෙන්නේ ජේ ෂාගේ පත්වීමත් සමඟ ICC යේ මධ්‍යස්ථභාවය පිළිබඳ බරපතල ප්‍රශ්න මතු වී ඇති ආකාරය පෙන්වා දී තිබේ.
ඕස්ට්‍රේලියානු ක්‍රීඩක උස්මාන් කවාජා සාමකාමී පණිවිඩයක් තම පිත්තෙහි ප්‍රදර්ශනය කිරීමට උත්සාහ කළ විට ICC ය එය තහනම් කළ නමුත්, ජේ ෂා වැනි පරිපාලකයින් දේශපාලනික හෝ ජාතිකවාදී අදහස් එළිපිට ප්‍රකාශ කර ක්‍රියාත්මක කරන විට ICC ය නිහඬව සිටීමේ දෙබිඩි පිළිවෙත අන්තර්ජාතික විචාරකයින්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී ඇත. එමෙන්ම ICC යේ සමස්ත ආදායමෙන් විශාල කොටසක් ඉන්දියාවෙන් ලැබෙන බැවින්, ICC සභාපතිවරයා ඉන්දියාවේ අවශ්‍යතාවලට පටහැනි තීරණ ගැනීමට මැලි වන බව ද තවත් පැත්තකින් මතු වේ.
බංගලාදේශ කණ්ඩායම ඉන්දියාවට යෑම ප්‍රතික්ෂේප කිරීමේ දී ICC යේ තර්කය වූයේ ICC යේ තර්කය වන්නේ ලෝක කුසලානයක් වැනි තරගාවලියක් පූර්ව එකඟතාවලට අනුව පැවැත්විය යුතු බවය. එබැවින් බංග්ලාදේශයේ ඉල්ලීම මත පමණක් සත්කාරක රට (ඉන්දියාව) වෙනස් කිරීම ප්‍රායෝගික නොවන බව ඔවුහු කීහ.
ICC ආරක්ෂක ඒකකය විසින් ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල තර්ජනයක් නොමැති බව ප්‍රකාශ කර තිබෙන පසුබිමක බංග්ලාදේශය ඉන්දියාවට නොපැමිණීම “දේශපාලනික තීරණයක්” ලෙස ICC ය දකින බව තවත් විශ්ලේෂකයින් පිරිසකගේ මතය වී තිබේ.
එහෙත් 2025 ශූරයන්ගේ කුසලානය සඳහා ඉන්දියාව පාකිස්ථානයට නොයෑමට තීරණය කළ විට ICC ය මධ්‍යස්ථ රටක තරගය පැවැත්වීමට එකඟ විය. නමුත් බංග්ලාදේශය සම්බන්ධයෙන් එවැනි නම්‍යශීලී බවක් නොපෙන්වීම ට ජේ ෂා යටතේ පවතින ICC ය සූදානම් නැත. ප්‍රශ්නය ඇත්තේ එතැනය. ඉන්දියාවේ රූකඩ ICC ය අවසානයේ ව්‍යසනයට ලක් කරනු ඇත්තේ මහත්වරුන්ගේ ක්‍රීඩාවේ ප්‍රමිතිය ය.







