අසේල කුරුළුවංශ –
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු හෂීස් මත්ද්‍රව්‍ය සහ විදේශීය දුම්වැටි 40ක් සමඟ විශ්වවිද්‍යාලීය විනය ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සිසුන් වැඩිදුර විමර්ශන සඳහා පේරාදෙණිය පොලීසිය වෙත භාර දී ඇත.
විශ්වවිද්‍යාලයේ මාකස් ප්‍රනාන්දු නේවාසිකාගාරය තුළදී ඊයේ (24) අලුයම මෙම වැටලීම සිදු කර ඇති අතර, එම අවස්ථාවේදී ඔවුන් සතුව තිබී හෂීස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 7530ක් සොයාගත් බව විනය ආරක්ෂක අංශ සඳහන් කරයි.
පොලීසිය පවසන පරිදි අත්අඩංගුවට පත් සිසුන් දෙදෙනා 23 හැවිරිදි වියේ පසුවන කෝට්ටේ සහ මීරිගම ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. මොවුන් විශ්වවිද්‍යාලය තුළ මත්ද්‍රව්‍ය භාවිතයට මෙන්ම ඒවා අලෙවි කිරීමට ද පෙළඹී සිටින බවට ලැබුණු තොරතුරක් මත විනයාරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් ඊයේ මධ්‍යම රාත්‍රී 12.30 ට පමණ මෙම නේවාසිකාගාර කාමරය හදිසි පරීක්ෂාවකට ලක් කර තිබේ.
එහිදී එක් සිසුවෙකු සතුව තිබී හෂීස් මිලිග්‍රෑම් 3410ක් සහ අනෙක් සිසුවා සතුව තිබී හෂීස් මිලිග්‍රෑම් 4120ක් සොයාගෙන ඇත. ඊට අමතරව ඔවුන් සතුව තිබී විදේශීය දුම්වැටි 20 බැගින් ද සොයාගත් බව වැටලීමට එක්වූ නිලධාරීන් පැවසූහ.
මීට පෙර ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙකු නේවාසිකාගාරයක් තුළදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබුණි. විශ්වවිද්‍යාල සිසුන් මත්ද්‍රව්‍ය භාවිතයට බහුලව නැඹුරුවීමේ ප්‍රවණතාවක් පවතින බවට ලැබෙන තොරතුරු හේතුවෙන්, විනයාරක්ෂක නිලධාරීන් විසින් ඉදිරියටත් මෙවැනි වැටලීම් අඛණ්ඩව සිදු කිරීමට පියවර ගෙන ඇත.







