ශ්‍රී ලංකා පොලිසියේ පරිහරණය සඳහා ඉන්දු – ශ්‍රී ලංකා මිත්‍රත්ව වැඩසටහන යටතේ ඉන්දියානු රජය විසින් පරිත්‍යාග කරන ලද කැබ් රථ (Single Cabs) 134ක් නිල වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත භාර දීම අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ඉන්දියානු රජය මේ සඳහා රුපියල් මිලියන 300ක මුදලක් වැය කර ඇති අතර, මෙම කැබ් රථ උතුරු පළාතේ පොලිස් ස්ථාන වෙත භාර දීමට නියමිතය.
ඉදිරියටත් මෙවැනි ආධාර ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කරන බව ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මෙහිදී සඳහන් කළේය.
ඉන්දියානු රජය විසින් සිදු කරන ලද මෙම පරිත්‍යාගය අගයමින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් ඉන්දීයානු මහකොමසාරිස් සන්තෝෂ් ජා වෙත සමරු තිළිණයක්ද ප්‍රදානය කරන ලදී.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න, ඩිමෝ ආයතනයේ සාමාන්‍යාධිකාරි රජිව් පණ්ඩිතගේ, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා පොලිසියේ උසස් නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.







