2048 වනවිට රනිල් මහත්තයත් නෑ… මමත් නෑ… රටක් සංවර්ධනය කියන්නෙ ලබන ආත්මයට පින් තකා කරන වැඩක් නෙමෙයි! පාඨලි කියයි…

 2048 වනතුරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සැලසුම් හදා ඇති බව පැවසුන ද   2048වනවිට එතුමා හෝ අප කිසිවෙක් ජීවතුන් අතර නැති බවත් රටක් සංවර්ධනයක් යනු  ලබන ආත්මයේ පින් තකා වැඩ කරන ආකාරයේ ක්‍රියාවක් නොවන බවත් එක්සත් ජනරජ පෙරමුණ   නායක පාඨලී චම්පික රණවක පවසයි.

“ඒ විදියේ ක්‍රියාවලියක් නෙවෙයි රටක සංවර්ධනය කියන එක. මේ සඳහා එක්සත් ජනරජ පෙරමුණට අවුරුදු තුනක් ඇතුළත රට ප්‍රකෘතිමත් කරන්න අවශ්‍ය වැඩපිළිවෙලක් තිබෙනවා.  එයට අවශ්‍ය කරන අත්දැකීම් බහුල බලගතු ක්‍රියාකාරීන් පිරිසක්, ඒ වගේම තරුණ කණ්ඩායමක් අපි සතුයි.”

මාදුළුවාවේ සෝභිත හිමි ජන්ම දින සංවත්සර උත්සවය සඳහා සහභාගී වූ    පාඨලී චම්පික රණවක සිය අදහස් දක්වමින්  මෙසේ ද කීවේය.

“රට බංකොලොත්භාවයට පත් කරපු පුද්ගලයෝ කවුරුන්වත් තමන් ඒ පිළිබඳව වගකීම අරගෙන මේ රටෙන් සමාව ඉල්ලලා නැහැ. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට පත් කිරීම සඳහා බෞද්ධ ආගමික සංවේදීතාව විකුණපු පිරිසක් හිටියා. ඒ පිරිස අපි දකින්නේ අවර ගණයේ ජාතිකවාදී ව්‍යාපෘතියක් මෙහෙය වූ අය හැටියට. එම පිරිස් දැන් බොහොම සංවිධානාත්මකව නැවත තමන් කරපු සාහසික අපරාධය ක්‍රියත්මක කරනවා.


මේ රටේ පනස් පන් ලක්ෂයක් පවුල් ඔවුන් අමතක කරනවා. මේ පනස් පන් ලක්ෂයක් පවුල් වලින් 76% ක් සිංහල ජනතාව. 70% ක් බෞද්ධ ජනතාව. එතකොට මේ සියලු දෙනාවම බංකොලොත් කරලා මහපාරට ඇදලා දැමීමේ වගකීම දරන්න ඕන අය නැවත වතාවක් මේ ආගමික සංවේදීතාවයන් පාවිච්චි කරනවා. ඒ වගේම ඉන්දියාවේ මහ මැතිවරණය ලබන වසරේ තියෙනවා. ඒකත් එක්කත් ඔය වගේ ආගමික කටයුතු ඇදෙමින් තිබෙන බව අපිට පේනවා.

අපි සියලුම දෙනා මතක තබා ගත යුතුයි, තමන්ගේ අදහස් පළකිරීමේ නිදහස  මූලික මානව අයිතියට අනුකූලව සිදුකරන්න. මූලික මානව අයිතියට අනුකූල වීම කියන්නේ තමන් කරන ප්‍රකාශ වලින් සාතිශය බහුතරයකගේ සිත් රිදීමක් වෙනවා නම්, ඔවුන් අදහන විශ්වාසයන් වලට ඉතාම රුදුරු විදිහට රිදවනවා නම් ඒ පිළිබඳ වගකීම් සහගත ලෙස ප්‍රකාශ සිදුකිරීම. ඒ වගේම ICCPR පනත පාවිච්චි කරනවා නම්, ඒ පනත සියලු දෙනාටම එක විදිහට, යුක්ති සහගත විදිහට පාවිච්චි කරන්න. නමුත් අපිට පේනවා ඒක පාවිච්චි වෙන්නේ නැහැ සමහර බලගතු පුද්ගලයින්ට. තෝරාගත් පිරිසකට විතරක් තමන්ට සුදුසු විදියට, දේශපාලන අවියක් හැටියට පාවිච්චි කරනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රට බංකොලොත් භාවයට පත් කරපු ඒ පිරිස් වලට නැවත වතාවක් මෙතන කෙළි බිමක් හදන්න දෙන්න එපා. ඒගොල්ලන්ව මේ රටේ දේශපාලනයෙන් ඉවත් කරන්න ඕනේ. විශේෂයෙන්ම තමන් අදහස් පළ කිරීමේදී අනිත් මිනිස්සුන්ගේ සංවේදීතාවයන් පිළිබඳ සංවේදීව කටයුතු කිරීම තමයි වගකිවයුතු කථිකයන්ගේ එහෙම නැත්නම් කලාකාරයන්ගේ එහෙමත් නැත්නම් යූටියුබර්ස්ලාගේ වගකීම.”

Exit mobile version