20ට එරෙහිව 5 වැනිදා සජබ වෙතින් රට පුරා විරෝධතා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවැනි සංශෝධනයට එරෙහිව ලබන මස 5 වැනි දින විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් එදින රටපුරා විරෝධතා සංවිධාන කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.

රට පුරා කළු කොඩි ඔසවමින් කළු පටි පැළැඳ විරෝධතා ව්‍යාපාර දියත් කිරීමටත් ලබන 8 වැනිදා විසි වෙනි සංශෝදනයට විරුද්ධව කොළඹ දී දැවැන්ත ජන රැළියක් පැවැත්වීමටත් සැලසුම් කර තිබෙන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ලංකාසරට පැවසීය.

විසිවෙනි සංශෝධනය සම්මත කරගැනීමට කිසිලෙසකින්වත් ඉඩ නොතබන බව පවසන අත්තනායක මහතා එය සම්මත වුවහොත් රට මහා විනාශයකට තල්ලු වීම වැළැක්විය නොහැකි බවද පෙන්වා දුන්නේය.


විනාශයෙන් රට බේරා ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන සියලුම දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන, සිවිල් සංවිධාන, ආගමික සංවිධාන ඇතුළු සියලු බලවේග ඒකරාශී කරගනිමින් මෙම විරෝධතා ව්‍යාපාර දියත් කරන බව හෙතෙම කීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම විරෝධතා ව්‍යාපාරවලට සමගාමීව අත් පත්‍රිකා බෙදා හැරීම, පෝස්ටර් බැනර් ප්‍රදර්ශනය, කුඩා හා දැවැන්ත ජන රැලි දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීම, ආදි පියවරයන් රැසක් ඔස්සේ විසිවෙනි සංශෝධනය ඇති භයානකකම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවද අත්තනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version