19න් පහළ විස්සයි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම අද (21) මුහුණ දුන් දෙවැනි තරගය ද ජය ගත්තේය. ඒ ක්වාලාලම්පූර්හි පැවති ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරදමින් ලකුණු 81ක විශිෂ්ට ජයක් ලබා ගනිමිනි.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දුවට පහරදීම තේරූහ. එය ඉතාම හොඳ තීරණයක් වූයේය. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආක්‍රමණශීලී පිතිකරණයක නිරත වූහ. ඔවුහු ඔවුන්ගේම වාර්තා බිඳ දමමින් ඉදිරියට ගියහ. මුල් තරගයේ දී මැලේසියියාව හා තරගවදිමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 162ක් රැස් කළහ. අද බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග තරග කළ ඔවුන් රැස් කළ ලකුණු ගණන වාර්තාගත ලකුණු 166කි. එම ලකුණේම ජයග්‍රහණය පිළිබඳ කතාවක් ලියැවී තිබිණි.
කණ්ඩායම් අදියර ඉක්මවා ඊලඟ වටයට යෑමට නම් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මේ තරගය අනිවාර්යයෙන් ජයග්‍රහණය කළ යුතුව තිබිණි. නමුත් කිසිම බලපෑම් සහගත ක්‍රීඩා විලාශයක් සහිතව ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරිනියනට පීඩනයක් ලබා දීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට නොහැකි විය. ඔවුන්ගේ පන්දු රැකීම නම් තිබුණේ අතිශය ප්‍රාථමික තැනකය. පන්දු යැවීමත් එසේය. දඟ පන්දු යවන්නියෝ නිපන්දු දැමූහ. එක පිට එක දැමූහ. වයිඩ් පන්දු ද එසේය. ඔවුන් ලබා දුන් අතිරේක ලකුණු සංඛ්‍යාව පමණක් ලකුණු 31කි. ඒ අතර නිපන්දු 07ක් සහ වයිඩ් පන්දු 20ක් විය.
අත්හැරිය අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගයට පිවිසුනහ. ආරම්භක පිතිකරුවන් වන සංජනා කාවින්දි පන්දු 36ක දී ලකුණු 38ක් සහ සුමුදු නිසංසලා (පන්දු 22ක දී ලකුණු 19ක් ලැබුවේය. නායිකා මනුද් නානායක්කාර අලංකාර පිතිකරණයක නිරත වූවාය. ඇය පන්දු 31ක දී ලකුණු 37ක් ලැබුවාය. ධම්මි සෙනෙත්මා පන්දු 25ක දී ලකුණු 31කි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් සෙලීනා රෝස් ලකුණු 25කට කඩුළු 02ක් ලැබුවාය.
පිතිකරණයට පැමිණ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ නායිකා සමාරා රාම්නාත් පන්දු 23ක දී හතරේ පහර තුනක්සමග ලකුණු 23ක් ලැබුවාය. ඇය දියත්කළ පිතිකරණය හැර වෙනත් කිසිම පිතිකාරිනියයකට ලකුණු 15 සීමා ඉක්මවන්නට ශ්‍රි ලංකා පන්දු යන්නියන් ඉඩ දුන්නේ නැත. පන්දු ඕවර 19.4ක් තුළ බටහිර ඉන්දීය ක්‍රීඩිකාවෝ සියලු දෙනා ලකුණු 85කට දැවී ගියහ.
යළිත් ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ම පන්දු යැවීම වාර්තා කරන්නේ චමුදි ප්‍රබෝධා ය. චමුදි පන්දු ඕවර 4 තුළ ලකුණු 16කට කඩුළු 03කි. තරගයේ වීරයා ඇයය. අසේනි තලගුණේ පන්දු ඕවර 4 තුළ ලකුණු 16ට කඩුළු 2කි. ලිමන්සා තිලකරත්න ලකුණු 07ට කඩුළු 02කි. ප්‍රමුදි මෙත්සරා සහ ශෂිනි ගිම්හානි කඩුල්ල බැගින් ලැබූහ.







