වර්ෂ 2001 අගෝස්තු මාසයේදී 18 හැවිරිදි තරුණියකට ලිංගික අතවර කිරීම සම්බන්ධව පුද්ගලයින් දෙදෙනෙකුට එරෙහිව පවරන ලදුව පුරා වසර 20ක් තිස්සේ පවතින නඩුවක් විභාගයට ගැනිමට නුවරඑළිය මහාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
දූෂණයට ලක්වූ 18 හැවිරිදි තරුණිය මේ වනවිට 38 හැවිරිදි දෙදරු මවක් බව වාර්තා වේ.
නඩුව තවමත් විසඳී නොමැති බැවින් එය දිනපතා විභාගයට ගන්නා ලෙස නුවරඑළිය මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි අද (07) දැනුම් දුන්නාය.
මෙම නඩුව මාර්තු මස 15, 16, සහ 24 යන දිනවල විභාගයට ගැනීමට නියෝග කළ විනිසුරුවරියා අදාළ දිනවලදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නඩුවට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට නොතීසි නිකුත් කළාය.
2001 වසරේ අගෝස්තු මස තලවාකැලේ ප්රදේශයේ දේවස්ථානයට ගොස් නිවස බලා යමින් සිටියදී තරුණිය පැහැරගෙන ගොස් ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකුට එරෙහිව නඩු පවරා තිබිණි.
මෙම නඩුව 2001 වසරේ විභාගයට ගැනුණු අතර ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් 2004 වසරේ නුවරඑළිය මහාධිකරණය වෙත අධි චෝදනා ගොනු කර තිබුණි.
වසර 10ක කාලයකට පසු 2015 වසරේ දී නුවරඑළිය මහාධිකරණය විසින් සැකකරුවන් දෙදෙනාට එක් චෝදනාවක් මත වසර 5ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් ද, නඩුවේ දෙවැනි සහ තෙවැනි චෝදනා සඳහා වසර 18ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්ද නියම කළේය.
සැකකරුවන් තමන්ට ලබාදුන් සිරදඬුවමට එරෙහිව අභියාචනාධිකරණයට අභියාචනයක් ගොනුකර තිබුණේ ඉන් අනතුරුවය.
මෙම නඩුව ජූරි සභාවක් ඉදිරියේ විභාග කර ඇත්ද යන්න අපැහැදිලි බැවින් අභියාචනාධිකරණය දඬුවම් නියම කිරීම අත්හිටුවා නුවරඑළිය මහාධිකරණයට දන්වා ඇත්තේ නඩුව මුල සිට නැවත විභාග කිරීම ආරම්භ කරන ලෙසටය.
ඉන් අනතුරුව මෙම නඩුව විභාග කිරීමට සම්බන්ධ වී සිටි විනිසුරුවරයෙක් එම නඩු විභාගයෙන් ඉවත් වූයේය.
අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී නුවරඑළිය මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි මෙම නඩුව අඛණ්ඩව විභාගයට ගැනීමට නියෝග කළාය.
මෙම නඩුව විභාගයට ගන්නා මාර්තු මස 15, 16 සහ 24 යන දිනවල අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ඇය නඩුවට සම්බන්ධ සියලු පාර්ශවයන්ට නොතීසි නිකුත් කළාය.