අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු… නීතිඥවරු අලුත් කඩේ උසාවිය ඉදිරියේ උද්ඝෝෂණයක…

මැතිවරණය පැවැත්වීමට අදාලව මුදල් නිකුත් කරන ලෙස කැබිනට් මණ්ඩලයට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ප්‍රේමනාත් සී දොලවත්ත සහ ශෙහාන් සේමසිංහ විසින් වරප්‍රසාද ප්‍රශ්නයක්  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු එය අප්‍රේල් මස 06 වැනිදා  පාර්ලිමේන්තු  වරප්‍රසාද කමිටුව හමුවේ විභාග වීමට නියමිතව ඇති බවත්,  අධිකරණයේ ස්වාධිනත්වය අභියෝගයට ලක් කරන  එම යෝජනාව  විභාග නොකර ඉල්ලා අස්කරගන්නා ලෙසත්  බලකරමින් අද අලුත් කඩේ උසාවි පරිශ්‍රය ඉදිරිපිට නීතිඥ වෘත්තිකයෝ විරෝධතාවයක නිතර වූහ. 

අධිකරණයේ ස්වාධීනත්වයට අත පෙවීමට එරෙහිව නීතිඥ මහා සභාවේ  නීතිඥවරු කණ්ඩායමක් විසින්  මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.  මෙම විරෝධතාවයෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ නීතිඥ සුනිල් වටගල විශේෂ ප්‍රකාශයක් කරමින් රජයට දැනුම් දුන්නේ වරප්‍රසාද කමිටුවෙන් උක්ත යෝජනාව ඉල්ලා අස්කර නොගන්නේ නම්  අප්‍රේල් 06 වැනිදා රටට  තීරණාත්මක දිනයක් වනු ඇති බවය.

නීතිඥවරයා මෙසේ ද පැවසුවේය.

“රනිල් වික්‍රමසිංහ විසින් පළාත් පාලන මැතිවරණය තියන්න ඕන නෑ කියල තීන්දුවක් අරන් තියනවා. ඒ තීන්දුව අභියෝගයට ලක් කරලා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගියාට පස්සේ ඒ පෙත්සමේ අතුරු නියෝගයක් ලෙස දැනුම් දීලා තියනවා වහාම මේ මැතිවරණය පවත්වන්න කියලා.”


“ඒ අනුව අප්‍රේල් 25 ට පෙර මැතිවරණය පැවැත්විය යුතුයි කියන අතුරු නියෝගය ඇවිත් තියනවා. ඒ නියෝගය තියෙද්දි අපි දැක්කා පාර්ලිමේන්තුව ඇතුලේ  ප්‍රේමනාත් සී දොලවත්ත සහ ශෙහාන් සේමසිංහ අවස්ථා දෙකක දී ප්‍රකාශන් නිකුත් කරනු ලැබුවා ඒ අයගෙ වරප්‍රසා කඩ වෙලා තියනවා… ඒ නිසා  යෝජනා වරප්‍රසාද කමිටුවට යොමු කරලා එය සමාලෝචනය කරලා එම තීන්දුව ලබා දුන්    විනිශ්ඡයකාරවරුන්ව පාර්ලිමේන්තුවට කැඳවන්න ඕන කියලා.

ශෙහාන් සේමසිංහ කිව්වා වරප්‍රසාද කමිටුවේ එම කාරණය විනිශ්ඡය වන තුරු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව බහා තබන්න කියලා.

මේ ප්‍රකාශ දෙකම අධිකරණයේ ස්වාධීනත්වයට බාධාවක්. ස්වාධීනත්වයට පහරක් එල්ල කරලා තියෙන්නේ. ඒ පිළිබඳව පාර්ලිමේන්තුවෙ කතා කළාට පස්සේ එම වරප්‍රසාද කමිටුව තීරණය කරලා තියනවා ලබන මාසෙ 06 වැනිදාට ප්‍රේමනාත් සී දොලවත්තව කමිටුව හමුවට ගෙනත් මූලික සාක්ෂි ගන්නත් අනතුරුව ඊට අදාල ක්‍රමවේදය ඉදිරියට ගෙනියන්නත්.

මේ මැතිවරණය නතර කලේ රනිල් වික්‍රමසිංහ විසින්. එයාගෙ උපදෙස් මත කැබිනට් මණ්ඩලය විසින්. එය නතර කළේ  කැබිනට් මණ්ඩල චක්‍රලේඛ මගින් වියදම් සීමා කරලා.

එහෙමනම් හරිම පැහැදිලියි මැතිවරණය නතර කලේ රනිල් වික්‍රමසිංහගෙ උවමනාවට. එය ජනතා පරමාධිපත්‍යයට ගැටලුවක්. ඒ ගැටලුව තමයි අධිකරණය විසින් ලිහුවෙ.

පාර්ලිමේන්තුව විසින් අනුමත කළ මුදල වහාම මුදා හරින්න කියලා කැබිනට් මණ්ඩලයටයි නියම කළේ. එය පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධාවක් නොවෙයි.

ඒ අය අර්ථ නිරූපණය කරන්න හැදුවා පාර්ලිමේන්තුවේ කටයුතුවලට අධිකරණය ඇඟිලි ගහන්න හදනවා කියලා.

නීතිඥ ප්‍රජාව විදිහට අපි දකිනවා මේක ඍජුවම අධිකරණයට අත පෙවීමක් කියලා.  ශිරානි බණ්ඩානායකගේ සිද්ධියෙදි නිතීඥ ප්‍රජාව ලෙස ඍජුවම ඉදිරියට ඇවිත් ඒ තත්ත්වය අභියෝගයට ලක් කළා. ඒ වැනිම පන්නයේ අත පෙවීමක් තමයි මෙය. මේකට කිසි සේත් ඉඩ දෙන්නෙ නෑ. මේක සංකේතාත්මක විරෝධතාවයක් විතරයි. ලබන මාස 06 වැනිදාට වරප්‍රසාද කමිටුව ඉදිරිපිට මේ කාරණය ඉල්ලා අස් කරගත්තේ නැතිනම් මුලු දිවයිනේම නීතිඥ ප්‍රජාව දැනුම්වත් කරලා දැවැන්ත විරෝධතාවයක් ගොනු කරනවා.

අපි කියනවා මේ යෝජනාව වරප්‍රසාද කමිටුවෙන් ඉල්ලා අස් කරගන්න කියලා. නමුත් වරප්‍රසාද කමිටුව විපක්ෂ මන්ත්‍රීවරුන්ට කියලා තියනවා කතා නායක දාපු යෝජනාවක් නිසා ඉස්සරහට ගෙනියන්න. දැන් අපි කියනවා මේ යෝජනාව ඉල්ලා අස්කරගන්න කියලා.

අප්‍රේල් හය වෙනිදා තීරණාත්මක දවසක් බව මතක තබා ගන්න. මේ විරෝධය අප්‍රේල් 06 වැනිදායින් පසු මුළු රට පුරාම ඇති වේවි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නීතිඥ සුනිල් වටගල කීවේය.

Exit mobile version