අවුරුදු එක හමාරක දියණියට කුරිරු වද දුන් පියා අත් අඩංගුවට… දියණිය පොලිස් භාරයට…

මනම්පිටිය නිමල්  ජයරත්න  –

විදේශ ගතව සිටින අනියම් බිරිඳගෙන් මුදල් ගෙන්වා ගැනීම සඳහා අවුරුදු එක හමාරක් වයසැති දියණියකට කෲර වධහිංසා ලබාදුන් තිස් හැවිරිදි තිදරු පියෙකු   පොලිසියට ලද තොරතුරක් අනුව අද (10) අත්අඩංගුවට ගත් බව බකමූණ පොලිසිය කියයි,

සැකකරු නිත්‍යානුකූල විවාහයක් කරගෙන ඇති අතර ඔහු බකමූණ අතරගල්ලෑව ප්‍රදේශයේ තම නිවසට අවුරුදු එක හමාරක දියණිය ගෙන්වා කෲර වධහිංසා ලබාදෙමින්, පහරදෙන අයුරු වීඩියෝ කර අනියම් බිරිඳට යවා මුදල් ගෙන්වා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව බකමූණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ. ඩබ්ලිව්. උපුල් බොලුකඳුර   අප කළ විමසීමකදී සඳහන් කළේය.

දියණියට කෲර ලෙස වධ හිංසා කරන වීඩියෝ, පියා විසින් විදේශගත සිටින අනියම් බිරිඳට යොමු කර ඇති අතර එම වීඩියෝ වට්ස්ඇප් මාර්ගයෙන් වේයන්ගොඩ සිටින මවට යොමු කර ඒ පිළිබඳ වේයන්ගොඩ පොලිසියට පැමිණිලි කරන ලෙසට මව විසින් දැන්වීමෙන් අනතුරුව දියණියගේ ආච්චි විසින් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇති බවද බකමූණ පොලිසිය සඳහන් කරයි,

අත්අඩංගුවට ගත් සැකකරු දහවෙනිදා හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද බකමූණ පොලිසිය සඳහන් කරයි.


අනියම් බිරිඳ මීට මාසතුනකට ඉහතදි කුවේට් රටේ ගෘහ සේවයට ගොස් ඇති අතර, අවුරුදු  එක හමාරක දියණිය,වේයන්ගොඩ පිහිටි ඇගේ මව ලග තබා විදේශ ගතව ඇති බවත්, මීට දින කිහිපයකට පෙරදී එම මව ළඟ සිටි අවුරුදු එකහමාරේ දියණිය පියාගේ බකමූණ අතරගල්ලෑව පිහිටි නිවසට ගෙන්වා ඇන්ටනා බට වලින් පහරදී වධ, හිංසා වලට ලක්කර ඇති බව පරීක්ෂණ පවත්වන බකමූණ පොලිසිය සඳහන් කරයි.

සැකකාර පියා සමඟ දියණිය පොලිස් බාරයට ගෙන පොලිසිය විසින් දියණියට අවශ්‍ය ආහාරපාන සහ අනිකුත් සියලු අවශ්‍යතා ලබාදීමට කටයුතු කර ඇති අතර අධිකරණ නියෝග අනුව, දියණියගේ අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කරන බවද පොලිසිය කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බකමූණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් බොලුකදුර,  ගේ උපදෙස් මත, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බී. එස්. එම්. සෙනෙවිරත්න, කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති, කාන්තා උප පොලිස් පරීක්ෂක කලා වික්‍රමසිංහ, පොලිස් සැරයන් 50910 චන්දන යන පොලිස් නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Exit mobile version