හෙට රණවිරු දිනයේ දී හමුදාවේ 14 617කට උසස්වීම්

ජාතික රණවිරු දිනයට සමගාමීව යුද හමුදාවේ 14 617 දෙනෙකුට උසස්වීම් ලබා දීමට රජය පියවර ගෙන ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත යුද හමුදාපති  ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ මෙහෙයවීමෙන්  මෙම උසස්වීම් පිරිනැමීම සිදුකරනු ලබයි. උසස්වීම් ලබාදීම සංකේතාත්මකව හෙට (19) බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අභියස පැවැත්වෙන රණවිරු අනුස්මරණ උළෙලේ දී සිදුකිරීමට නියමිතය.

යුද හමුදා ඉතිහාසයේ  එක්වරක් තුළ මෙතරම් උසස්වීම් සංඛ්‍යාවක් ලබා දීමට සැලසුම් කළ පළමු අවස්ථාව මෙය බව හමුදා ආරංචි මාර්ග පෙන්වා දෙයි.


දශක තුනකට අධික කාලයක් මෙරට වෙලාගෙන පැවති කුරිරු යුද්ධය අවසන්  කර අදට (18)  වසර 11 සම්පූර්ණ වේ. මෙම යුද්ධයෙන් ජන ජීවිත ලක්ෂයකට ආසන්න ගණනක් දැයට අහිමි විය.

රණවිරු අනුස්මරණ උළෙලේ දී මීට පෙර වසරවල විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුවද  මෙවර රටේ පවතින වසංගත තත්වය නිසා සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් එම අවස්ථාව සැමරීමට රණවිරු සේවා අධිකාරිය සැලසුම් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වර්ෂ 1983 වසරේ ජූලි මස 23 දින ඍජුව ආරම්භ වුණු මෙරට සිවිල් යුද්ධය විරෝධාර රණ විරුවන් විසින් වර්ෂ 2009 මැයි මස 18 වැනිදා අවසන් කරනු ලැබීය. එම යුද්ධය නිමා කිරීම සඳහා එවකට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රණවිරු සැමරුම් උළෙලට යුද්ධය සඳහා  දේශපාලන නායකත්වය දුන් එවකට විධායක ජනාධිපති, වත්මන් අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න හා ත්‍රිවිධ හමුදාපතිවරු හා පොලිස්පතිවරයා පුමුඛ දේශපාලන හා ආරක්ෂක අංශ ප්‍රධානීහු සහභාගී වෙති.

Exit mobile version