විදේශ ණය ප්රතිව්යුහගත කිරීමේ ගිවිසුම් ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් හෙට (02) දිනයේ පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා සිදුකරන විශේෂ ප්රකාශයෙන් අනතුරුව හෙට දින පැවැත්වීමට නියමිතව තිබූ මීට අදාළ යෝජනා සම්මතය පිළිබඳ විවාදය හෝ ඡන්දය නොපැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබේ.
අද ( 01) පස්වරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්රධානත්වයෙන් සහ අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධනගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පවත්වා තිබුණි.
විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල උපුටා දක්වමින් අද දෙරණ වාර්තා කරන්නේ රජය විසින් අත්සන් කරන ලද ගිවිසුම් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන්නේ යැයි පක්ෂ නායක රැස්වීමේ දී දැනුම් දුන් බවය. ගිවිසුම් තුනෙන් එක් ගිවිසුමක් තවම අත්සන් කර නොමැති බවත්, ගිවිසුම් තුනම අත්සන් නොකර විවාදයක් සිදුකර කිසිම ඵලක් නැති බව විපක්ෂයේ මතය බව ලක්ෂ්මන් කිරිඇල්ල පවසා තිබේ.
“කලින් පැවති පක්ෂ නායක රැස්වීමේදී කිව්වා මේ ගිවිසුම් තුන අන්තර්ජාලයේ දාලා තියෙන්නේ කියලා. අත්සන් කරලා කැබිනට් එකට ඉදිරිපත් කරනවා කිව්වා. මුදල් කාරක සභාවට ඉදිරිපත් කරනවා කිව්වා. එහෙම කරලත් නෑ.”
“හෙට ජනාධිපතිවරයාගේ කතාවෙන් පස්සේ පාර්ලිමේන්තුව කල් දානවා. විවාදයක් පැවැත්වෙන්නේ නෑ”
අභාවප්රාප්ත හිටපු විපක්ෂ නායක ආර්.සම්පන්දන්ගේ දේහයට අවසන් ගෞරවය දැක්වීම සඳහා ජූලි 03 වනදා පාර්ලිමේන්තු පරිශ්රයට රැගෙන ඒමට නියමිත බැවින් එයද එදින පාර්ලිමේන්තු රැස්වීම නොපැවැත්වීම හේතුවක් බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එකඟත්වය පළවූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර පවසා තිබේ.
සම්බපන්ධන් ගේ දේහය අනිද්දා ප.ව 2.00 සිට ප.ව 4.00 දක්වා අවසන් ගෞරවය සඳහා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉදිරිපස ආලින්දයේ පිහිටි උත්සව ශාලාවේ තැන්පත් කිරීමට නියමිතය.