හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තියේ වෙනසක් නෑ… බැරි අයට යන්න පුලුවන්… ජනපති කියයි!

රසායනික පොහොර ගෙන්වන්න ගිය කට්ටිය අහගත්තු දේ...

රාජ්‍ය කෘෂිකාර්මික ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක්  නැති බවත් රටේ පවතින්නේ හරිත කෘෂිකර්මාන්තය පමණක් බවත්  අද (22) යළිත් අවධාරණය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මෙම ප්‍රතිපත්තිය තුළ සිටිමින් වැඩ  නොහැකි නිලධාරීන්ට  ඉවත් විය හැකි බව දන්වා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පොහොර ප්‍රශ්නයට පිළියම් සෙවීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (22)  උදේ පැවති විශේෂ රැස්වීමේ දී ඊට සහභාගී වූ අමාත්‍යවරු සහ නිලධාරීන් අමතමිනි. ඊයේ මේ රැස්වීම පිළිබඳ ප්‍රකාශයක් කළ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මාධ්‍යයට කීවේ මෙම රැස් වීමේ අරමුණ සීමිත රසායනික යෙදවුම් රටට ගෙන්වා ගැනීමේ අවකාශය පිළිබඳ සාකච්ඡා කිරීම බවය.

රැස්වීම අමතමින් කාබනික හරිත ගොවිතැන පිළිබඳ රාජ්‍ය ස්ථාවරයේ කිසිම වෙනසක් නැති බව අවධාරණය කළ ජනාධිපතිවරයා කීවේ ගොවීන් උද්ඝෝෂණවල යෙදීමට සහ වගා කටයුතු ප්‍රමාද කිරීමට හේතුව ඔවුන් නිසි ලෙස දැනුවත් නොවීම බවය.    එලෙස දැනුවත් නොකිරීම සම්බන්ධයෙන්  ඔහු  නිලධාරීන් වෙත සිය අප්‍රසාදය පළ කළේය.

හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය තුළ සිටිමින් උද්ඝෝෂණය කරන ගොවීන් වෙනුවෙන් පිළිතුරු සෙවීමට නිලධාරීන් ක්‍රියා කළ යුතු බව අවධාණය කළ ජනාධිපතිවරයා, රජයේ ප්‍රතිපත්තියට එකඟ නොවන නිලධාරීන්ට ඉන් ඉවත් වීමට බාධාවක් නොමැති බවත් සඳහන් කරනු ලැබීය.


ගොවීන්ට සහනාධාර ලබා දෙන්නේ කාබනික ගොවිතැන වෙනුවෙන් පමණක් බව   පැහැදිලිවම ප්‍රකාශ කළ ජනාධිපතිවරයා කාබනික පොහොර සහිත හරිත වගාවට එරෙහි   රසායනික පොහොර මාෆියාව හඳුනා ගත යුතු බවත් කීවේය.

ඒ සමග සටන් කර නිවැරදි දේ ජයග්‍රහණය කරවීම නිලධාරීන්ගේ වගකීම බව   අවධාරණය කළ ජනාධිපතිවරයා මෙම වැඩපිළිවෙළ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය හිතට එකඟව පැහැදිලිව වැඩකරන කණ්ඩායමක් බව ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

රාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැහැ. හරිත කෘෂිකර්මාන්තය පමණයි…. ජනපති අවධාරණය කරයි.

රජයේ ප්‍රතිපත්තියේ කිසිඳු වෙනසක් නැහැ. මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කෙරෙන හරිත කෘෂිකර්මාන්තයක් සඳහාම පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

රජයක් ලෙස කාබනික පොහොර බෙදාහැරීම, සහනාධාර ලබාදීම කාබනික ගොවිතැන වෙනුවෙන් පමණක් සිදුකරන බව ජනාධිපතිතුමා පවසයි. ගොවීන් නිසි ලෙස දැනුවත් කළ යුතුය. එමෙන්ම එය ක්‍රියාත්මක කිරීමේදී පවතින රසායනික පොහොර මාෆියාව පිළිබඳ හඳුනාගත යුතුය. ඒ සමග සටන් වැඳ නිවැරදි දේ ජයග්‍රහණය කරවීමට නිලධාරීන්ගේ කැපවීම අත්‍යාවශ්‍ය බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

මහ කන්නයේ වගා කටයුතු සහ කාබනික පොහොර සැපයුම සම්බන්ධයෙන් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

දිවයිනේ සියලු පළාත්වල වී ඇතුළු සෙසු භෝග වගා කටයුතු පිළිබඳව ජනාධිපතිතුමා දිස්ත්‍රික් මට්ටමින් නිලධාරීන්ගෙන් කරුණු විමසා බැලීය. පැවති අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය එළවළු ඇතුළු භෝග රැසක අස්වැන්න අඩුවීමට බලපා ඇත. එමෙන්ම කාබනික පොහොර බෙදාහැරීමේදී සිදු වූ ප්‍රමාදය නිසා මහ කන්නයේ වගා කටයුතුවලට බලපෑම් ඇති විය. එහෙත් දිස්ත්‍රික් මට්ටමින් සමස්ත වගා බිම්වලින් 70%කට ආසන්න භූමි ප්‍රමාණයක වගා කටයුතු ආරම්භ කර ඇති බව නිලධාරිහු පැවසූහ.

ගොවීන් උද්ඝෝෂණවල යෙදීමට සහ වගා කටයුතු ප්‍රමාද කිරීමට හේතුව ඔවුන් නිසි ලෙස දැනුවත් නොවීම බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. එලෙස දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා නිලධාරීන් වෙත සිය අප්‍රසාදය පළ කළේය. හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය තුළ සිටිමින් උද්ඝෝෂණය කරන ගොවීන් වෙනුවෙන් පිළිතුරු සෙවීමට නිලධාරීන් ක්‍රියා කළ යුතු බව අවධාණය කළ ජනාධිපතිතුමා, රජයේ ප්‍රතිපත්තියට එකඟ නොවන නිලධාරීන්ට ඉන් ඉවත් වීමට බාධාවක් නොමැති බවත් සඳහන් කරනු ලැබීය.

හිතට එකඟව පැහැදිලිව වැඩ කරන කණ්ඩායමක සහාය මෙම වැඩපිළිවෙළේ සාර්ථකත්වය වෙනුවෙන් අවශ්‍ය බවත් ජනාධිපතිතුමා පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ, ආණ්ඩුකාරවරුන් වන මාර්ෂල් ඔෆ් ද  එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, අනුරාධ යහම්පත්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග,  යන මහත්ම මහත්මීහු කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ ඊට අයත් රේඛීය ආයතනවල ප්‍රධානීහු, කාබනික පොහොර නිෂ්පාදකයන්  ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

Exit mobile version