හම්බන්තොටට ෆයිසර් දුන්නෙ ඇයි?… සෞඛ්‍ය බලධාරීන් බීබීසියට කියූ විහිළු කතා…

හම්බන්තොටට ෆයිසර් එන්නත් ලබා දීම පිළිබඳව බීබීසී අද ප්‍රවෘත්ති විශේෂාංගයක් කර පල කර තිබිණි.

එහිදී බී.බී.සී ආයතනය මේ සම්බන්ධව සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඒ සම්බන්ධව කළ විමසුම් වලට ලබා දුන් පිළිතුරු පහත දැක්වේ.

“අපි ගත් තීරණයක් නෙවෙයි” – කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැතිණී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැතිණී වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ

හම්බන්තොටට ෆයිසර් එන්නත ලබාදීම පිළිබඳව  ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැතිණී වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේගෙන් විමසුවෙමු.  ඇය පවසා සිටියේ එය තමාගේ අමාත්‍යංශයෙන් ගත් තීරණයක් නොවන බව යි.


ඒ සම්බන්ධයෙන් ලිඛිත උපදෙසක් දී ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා බැවින්, ඒ පිළිබඳව ඔහුගෙන් විමසන ලෙස අමාත්‍යවරිය බීබීසි වෙත දැනුම් දුන්නා ය.

“ඒක සම්පූර්ණයෙන් ලොජිස්ටික් ඉෂූ එකක්“ – සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

අප එම ප්‍රශ්නයම සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් වෙත යොමු කළ විට ඔහු ප්‍රකාශ කළේ “ඒක සම්පූර්ණයෙන් ලොජිස්ටික් ඉෂූ එකක්” නිසා සිදුකෙරුණු බව යි.

“දැන් මේ වෙනකොට මිලියන 18ක් විතර හම්බවෙලා තියෙනවා සයිනොෆාම් එන්නත. එතකොට තව මිලියන දෙකකට හෝ ඊට කිට්ටු ප්‍රමාණයකට ලැබිලා තියෙනවා ඇස්ට්‍රාසෙනෙකා. නමුත් ෆයිසර් වැක්සීන් එක තාම අපට ලැබිලා තියෙන්නේ, යන්තම් අපි ගහලා තියෙන්නේ ලක්ෂ තුනකට පොඩ්ඩක් වැඩියෙන්.

“එතකොට ඒවා පොඩි ප්‍රමාණවලින් හම්බවෙන්නේ. එතකොට ඒ ඒ තැන්වල ඉලක්කගත ජනගහණය අඩු ප්‍රදේශවලින් තමයි මේක පටන්ගන්න වෙලා තියෙන්නේ. ඒක යි අපි පළවෙනිම තොගය ආපු වෙලාවේ මන්නාරමට දුන්නේ,” ඔහු පැහැදිලි කළේ ය.

එපමණක් ද නොව, ෆයිසර් පුත්තලමට ද ලබා දී ඇතැ යි ඔහු සඳහන් කළේ ය.

“අපි කරන්නේ, අපට එන්නත් හම්බවෙන්නේ 200 නම් ටාගට් පොපියුලේෂන් එකක් හඳුනාගෙන සියදෙනෙක් විතර ඉන්න, අපි ඒක ඒ ප්‍රදේශයට දෙනවා. මොකද අපට එන්නත් දෙක දෙක දීලා ඒක කවර් කරන්න පුළුවන්.

මිනිස්සු රණ්ඩු කරන එක නවත්වන්න එපැයි…

දැන් අපට මේ ෆයිසර් එන්නත් ලක්ෂයක් ආපුවාම කොළඹ දිස්ත්‍රික්කය වාගෙ එකකට දුන්නොත් මොකද වෙන්නේ? රණ්ඩුකරගන්නවනේ මිනිස්සු ඊළඟට. අපට එන්නත් ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම අපේ පාලනයෙන් තොර ක්‍රියාවලියන් හරහා. ඉතින් ඒ නිසා යම් යම් ප්‍රදේශවලට එන්නත් වෙන් කරනකොට අපට ප්‍රයෝගිකව, ගැටලුවලින් තොරව මේ එන්නත් ලබාගැනීමට සහ දීමට අවශ්‍ය කරන ගොඩක් සාධක සලකලා බලලා තමයි මේවා මේ විදියට වෙන් කරන්නේ,” ඔහු තව දුරටත් විස්තර කළේ ය.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නිර්දේශ

මෑතක දී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ඉදිරිපත් කෙරුණු විශේෂඥ වර්තාවක සඳහන් වන පරිදී,

  1. සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකක් ලබාගත් වයස අවු. 60ට වැඩි පුද්ගලයින්ට
  2. වයස අවුරුදු 12ට වැඩි, ප්‍රතිශක්ති දුර්වලතාවයෙන් පෙලෙන සහ ඕනෑම එන්නතක මාත්‍රා දෙකක් ලබා ඇති පිරිස්වලට ෆයිසර්, ඇස්ට්‍රාසෙනෙකා, හෝ මොඩර්නා යන එන්නත් වර්ගවලින් තෙවැනි මාත්‍රාවක් ලබාදිය යුතුයැ යි නිර්දේශ වී තිබේ.
  3. එසේම, අවුරුදු 12ත් 18ත් අතර වයසේ සහ ප්‍රතිශක්ති ඌණතා සහිත රෝගී තත්ත්වයන්ගෙන් (නිධන්ගත වකුගඩු රෝග, පිළිකා, දියවැඩියාව, නිධන්ගත පෙනහැලි රෝග, මස්තිෂ්ක අංශභාගය,නිධන්ගත අක්මා රෝග, නිවැරදි නොකළ හෘද රෝග, තැලසීමියා) පෙලෙන, එන්නත් නොකළ ළමුන් සඳහා ෆයිසර් මාත්‍රා දෙකක් ලබාදිය යුතු බවත් එම කමිටුවේ නිර්දේශය වේ.

මෙවැනි රෝගීන් සඳහා ෆයිසර් එන්නත් ඉතිරි කර ගැනීම සිදුකළ යුතු නොවේදැ යි අප විමසූ අවස්ථාවේ දී සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ මෙවැන්නකි:

“මේකේ දී ප්‍රශ්නේ තියෙන්නේ, එකක් තමයි, ඕක ගබඩා කරලා තියාගන්න ලොකූ වියදමක් යනවා, -70°Cවල යනකොට. අපට මිනිස්සුන්ට මේක දීලා ඉවර කරන්න ඕනේ. මොකද අපේ එන්නත්කරණය ඉවර කරන්නත් ඕනෙ නෙ.”

විදේශගත වීමේ දී යම් යම් රටවල් යම් යම් එන්නත් ප්‍රතික්ෂේප කිරීම අසාධාරණ බැව් ද, ලංකාවේ දී ලබාදෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කෙරුණු එන්නත් ද නිසා මෙම අසාධාරණය පිළිබඳව එම සංවිධානය සමග ද සාකච්ඡාකර තිබේයැ යි ඔහු පවසයි.

“ඒ අතරතුර යම් පුද්ගලයෙකුට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක (ෆයිසර් එන්නත) දෙන එක කරගෙන යනවා කොහොමත්,” ඔහු සඳහන් කරයි.

“සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා පැහැදිලි ලිපියක් ලියලා තිබ්බා කොවිඩ් ටාස්ක් ෆෝස් එකේ දී ගත්ත තීරණයක් අනුව තමා හම්බන්තොටට මේක දෙන්න තීරණය කළේ කියලා… එතකොට ඒක (කෝවිඩ් මර්දන කාර්ය සාධන බලකාය) මේ හැමෝම සහභාගී වෙන එකක් මිස දේශපාලන අය සහභාගී වෙන එකක් නෙවෙයිනේ. “

“මේක හොඳට පැහැදිලි කරලා දෙන්න ඕනේ, මොකද සෞඛ්‍ය අමාත්‍යංශයට චෝදනා එල්ල වෙනවා දේශපාලන බලයකට යටත්වෙලා මේක ක්‍රියාත්මක වෙනවා කියලා,” ඔහු ප්‍රකාශ කළේ ය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එසේ පැවසුවා ද, ඊයේ (සැප්තැම්බර් 9) මාධ්‍ය හමුවකට එක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළේ හම්බන්තොටට ෆයිසර් එන්නත දීමට තීරණය කළේ “රජය විසින්” බව යි.

“කොයි එන්නත ද කොයි ප්‍රදේශයට ද යවන්නේ කියන එක අපේ අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛව තියෙන එම බලකායෙන් තමයි තීරණය කරනු ලබන්නේ. නැතුව ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ, එම ෆයිසර් එන්නත නිෂ්පාදන සමාගමට අනුව නෙවෙයි අපි ඒ තීරණය ගන්නේ,” ඔහු පැවසුවේ ය.

ශ්‍රී ලංකාවේ කෝවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය මේ වන විට ඉතාමත් සීඝ්‍රයෙන් සිදුකෙරෙමින් පවතින්නේ ය. සැප්තැම්බර් 9 වන දා වන විට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ක වයස අවු. 30ට වැඩි ජනගහණයෙන් 100%කට එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇතැ යි ජනාධිපති කාර්යාලයය ප්‍රකාශ කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ අවුරුදු 60ට වැඩි ජනගහණයෙන් ලක්ෂ 3කට කෝවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් හෝ තවමත් ලැබී නැති බව යි.

 

 

 

 

Exit mobile version