සෝමාලියානු මුහුදු කොල්ලකරුවෝ දික්ඕවිටින් මුහුදු ගිය ධීවරයින් 06ක් සමග ට්‍රෝලර් යාත්‍රාවක් පැහැර ගනිති..

විමුක්ති එස් රුද්‍රිගු –

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් අරාබි මුහුදේදී ධීවරයින් හය දෙනෙකු සමඟ ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රාවක් පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත   ප්‍රකාශ කළේ පසුගිය 12 වැනිදා ධීවර කටයුතු සඳහා  පිටත්වූ ලොරෙන්සෝ පුතා 4 බහුදින ධීවර ට්‍රෝලර් යාත්‍රාව අරාබි මුහුදේ රැකියාවේ නිරත වෙමින් සිටියදී අද (27) දහවල් කාලයේදී කිසියම් ආයුද සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන ඇති බවය.

පැහැරගන්නා අවස්ථාවේදී එම ට්‍රෝලර් යාත්‍රාවේ නියමුවා ඇතුළුව කාර්ය මණ්ඩලය 6 දෙනකු සිට ඇතැයි සුසන්ත කහවත්ත   පැවැසුවේය.

ලොරෙන්සෝ පුතා 4 අද (27) රැකියාවේ නිරත වෙමින් සිටියදී තවත් යාත්‍රාවක් ලොරෙන්සෝ පුතා 4 නෞකාව පසුපස ලුහුබැඳ ඇති බවත් ඒ අවස්ථාවේදී ලොරෙන්සෝ පුතා 4 නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය එම යාත්‍රාව වෙරළාරක්ෂක නෞකාවක් යැයි සිතා ඇති බවත් ඔහු කීවේය.


එම නාඳුනන යාත්‍රාවෙන් ආයුද සන්නද්ධව දෙදෙනකු ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාවට ගොඩ වී ඇති බවත් අනතුරුව එම පුද්ගලයන් දෙදෙනා අහසට වෙඩි තබමින් කාර්ය මණ්ඩලය සහ යාත්‍රාව ඔවුන්ගේ බාරයට ගෙන ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය. ලුහුබඳින අවස්ථාවේදී අසළ තිබූ යාත්‍රා ඉවත් වී ඇති බවත් ලොරෙන්සෝ  පුතා 4 නෞකාවේ සන්නිවේදන උපකරණ ක්‍රියා විරහිත කර නාඳුනන යාත්‍රාව පිටුපස රැගෙන ගොස් ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

එම කණ්ඩායම ලොරෙන්සෝ පුතා 4 නෞකාව රැගෙන යන්නේ කුමන ස්ථානයටද සන්නද්ධ කණ්ඩායමේ ඉල්ලීම මොනවද යන්න තවමත් නොදන්නා බවත් එයට හේතුව එම සන්නද්ධ කණ්ඩායම පැහැර ගැනීම පිළිබඳව තවමත් ප්‍රකාශයක් නිකුත් කර නොතිබීම බවත් ඔහු පෙන්වා දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලොරෙන්සෝ පුතා අඩි 50 ක් දිග යාත්‍රාවක් බවත් මෙම ගමන එම යාත්‍රාවේ මංගල ගමන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය. ධීවර යාත්‍රාව බේරා ගැනීමට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය සහ නාවික හමුදාව සමඟ එකතු කටයුතු කරන බව  ඔහු පැවැසුවේය. – ලංකාදීප

 

 

 

Exit mobile version