ප්‍රියන්තගේ දේහය මෙරටට එවූයේ කෙසේ ද?- බීබීසීය කියන කතාව….

බී.බී.සී –

“අපි සියල්ලෝම මෙහි පැමිණ සිටින්නේ අගමැතිතුමාගේ උපදෙස් මත. මෙතුමාගේ මිනී පෙට්ටිය ආවරණයකින් ඔතා තිබෙනවා. නමුත් වෙනත් ආකාරයක ගෞරවයක් ප්‍රකාශ කළ යුතුව තිබේ නම්, එය ද ඉටුකරන්නට අගමැතිතුමා සූදානම්.”

ලාහෝර් ගුවන්තොටුපොළට පැමිණ සිටි ආගමික සහජීවනය සඳහා වූ විශේෂ නියෝජිත මවුලානා තහීර් අෂ්රෆි, කලහකාරීන් පිරිසක් විසින් ඝාතනය කරන ලද ශ්‍රී ලාංකිකයාගේ දේහය ශ්‍රී ලංකාවට එවීමේ අවස්ථාවට එක්වෙමින් පැවසී ය.

ලාහෝර් ගුවන්තොටුපොළට ගෙනවිත් තිබූ දියවඩනගේ ප්‍රියන්ත කුමාරගේ දේහය රැගත් මිනී පෙට්ටිය සුදු කොළවලින් ඔතා තිබූ අතර, කහ සහ සුදු මල් ඒ මත අතුරා තිබුණි.


ශ්‍රී ලාංකිකයෙකු වන ප්‍රියන්ත කුමාර සියල්කෝට් ප්‍රදේශයේ කම්හලක සාමාන්‍යධිකාරීවරයෙකු ලෙස සේවය කළ අතර, ඔහු දෙවියන්ට අපහාස කළේයැ යි විශ්වාස කිරීම නිසා කෝපයට පත් පිරිසක් දෙසැම්බර් 03 වැනි දින ඔහුට වධ දී මරාදමා, අනතුරුව සිරුරට ගිනි තැබූහ.

මිනී පෙට්ටියේ ඡායාරූපය සමාජ මාධ්‍යවල හුවමාරු විය

ප්‍රියන්ත කුමාරගේ මිනී පෙට්ටියේ ඡායාරූපයක් ඊයේ රාත්‍රියේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර ගියේ ය.

‘ශ්‍රී ලංකා පුරවැසි ප්‍රියන්ත කුමාර දියවඩනගේ දේහය’ යන විස්තරය යටතේ පළකර ඇති එම පින්තූරයේ දැක්වෙන්නේ  බිම තබා ඇති ලී මිනී පෙට්ටියකි.

සමාජ මාධ්‍යවල ප්‍රචලිත වූ පින්තූරය ගැන කතා කරමින් තහීර් අෂ්රෆි පැවසුවේ, “අපි ඔහුව එවැනි මිනී පෙට්ටියක යවා ඇති බවට ප්‍රචාරය වෙනවා. එහෙම දෙයක් නෑ. මේ ඔහුගේ මිනී පෙට්ටිය ගුවන් තොටුපලේ රෙදි කඩකින් ඔතා තිබියදී ගත් ඡායාරූපයක්,” යනුවෙනි.

“ශ්‍රී ලාංකිකයෙකු අමානුෂිකව ඝාතනය කිරීමෙන් පසු ඔහු සිය රටට එවන්නේ මේ ආකාරයෙන්දැ”යි, මේ පින්තූරය පෙන්වමින් සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ප්‍රශ්න කරන්නට විය.

ඇතැමුන් ප්‍රකාශ කළේ, “මේ සාහසික ක්‍රියාවෙන් පසු ප්‍රියන්තගේ සිරුර රජයෙන් නිල අවමංගල්‍ය ගෞරව දක්වා පිටත්කර හැරිය යුතු බවත්, ජාතියක් ලෙස අප ලැජ්ජාවට පත්වන බව ඔහුගේ පවුලේ අයට පැවසිය හැකි වන්නේ එවිට බවත්” ය.

ශ්‍රී ලාංකික පුරවැසියාගේ සිරුර ආපසු එවූයේ කෙසේද?

සමාජ මාධ්‍යවල පැතිර ගිය මිනී පෙට්ටියේ ඡායාරූපයේ සත්‍යතාව කුමක් ද යන්නත්, ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයාගේ දේහය ඔහුගේ රටට එවූයේ කෙසේ ද යන්නත් සොයා බැලීමට BBC උත්සාහ කළේ ය.

මේ පිළිබඳව BBC සමග අදහස් දැක්වූ පන්ජාබ් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කියා සිටියේ, ශ්‍රී ලාංකික පුරවැසියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සියල්කෝට්හි දීම සිදුකර, පසුව ඔහුගේ දේහය මිනී පෙට්ටියක දමා මෘත ශරීරාගාරයේ තබා ඇති බව යි.

“මියගිය අය ශීත ගබඩාවේ දී හඳුනා ගැනීම පහසු වීමට පෙට්ටිය මතුපිට නම ලියලා තියෙනවා,” ඔහු ප්‍රකාශ කළේ ය.

පින්තූරයේ පෙනෙන මිනී පෙට්ටිය ඉරිදා රාත්‍රියේ ලාහෝර් ගුවන්තොටුපොළට රැගෙන ආ බවත්, ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලය එහිදී එම පින්තූරය ගන්නට ඇති බවත් නිලධාරියා පැවසීය.

“අපි දේහය සහිත දෙණ ශ්‍රී ලංකා කොඩියේ ඔතා එවන්නට යි අදහස් කළේ. නමුත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් කිව්වා එහෙම කරන්න එපා, ඔබ එය සුදු කඩදාසියක ඔතන්න කියලා,” ඔහු කියා සිටියේ ය.

“අපිත් මිනී පෙට්ටියට රෝස මල් තියලා දේහයට ගෞරව කරන්න  අවසර ඉල්ලුවා. තානාපති කාර්යාලය කිව්වා මංගල කටයුතු සඳහා පාවිච්චි කරන නිසා රතු රෝස මල් දාන්න එපා, කහ මල් දාන්න පුළුවන් කියලා,” ඔහු වැඩිදුරටත් පැවසීය. “ඊට පස්සේ අපි හැම දෙයක්ම ඒ කියපු විදිහට කළා.”

BBC වෙත අදහස් දක්වමින්, ආගමික සහජීවනය සඳහා වූ අගමැතිගේ විශේෂ නියෝජිත තහීර් අෂ්රෆි පැවසුවේ පන්ජාබයේ මානව හිමිකම් සහ සුළුතර අයිතිවාසිකම් පිළිබඳ අමාත්‍ය ඉජාස් මසීහ් ද තමා සමග ගුවන්තොටුපොළට පැමිණ සිටින බව යි.

“ශ්‍රී ලාංකික ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයට ගෞරව දැක්වීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ද මෙහි පැමිණ සිටින බව” උලෙමාවරයා ප්‍රකාශ කළේ ය.

එමෙන්ම, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය ද තමා සමග සිටින ද, ඔවුන් මෙම සිදුවීම ඉතා කණගාටුදායක සිදුවීමක් බව තමා සමග පවසා ඇති බව ද, ඒ සම්බන්ධයෙන් පාකිස්ථාන ජනතාව සහ රජය සිය කෝපය පළ කළ ඇති බව ද පවසන උලෙමා තහීර් අෂ්රෆි, පොරොන්දු වූ පරිදි මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව අගමැති ඉම්රාන් ඛාන් දැඩි ක්‍රියාමාර්ග ගනු ඇතැ යි තමා බලාපොරොත්තු වන බව ද පැවසීය.

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන තානාපති කාර්යයාලය ද ප්‍රියන්ත කුමාරගේ පවුල සම්බන්ධකර ගෙන ඇති බව උලෙමාවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

 සමාජ මාධ්‍යවල ප්‍රතිචාර

ප්‍රියන්ත දියවඩනගේගේයැ යි කියැවුණු මිනී පෙට්ටියේ ඡායාරූපය බෙදාගනිමින් බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයෝ සිය අදහස් දක්වා තිබුණෝ ය.

මිනී පෙට්ටියේ පින්තූරය බෙදා ගනිමින් ට්විටර් පරිශීලක තහීර් ඉම්රාන් ලියා තිබුණේ එය “හැත්තෑ වසරක රාජ්‍ය ප්‍රතිපත්තිවල අවමංගල්‍යය” බව යි.

“ගෙවීම් ලබන බ්ලොග්කරුවෙකු අනාගතයේ දී පාකිස්ථානයේ ආගන්තුක සත්කාරය සහ සංචාරක ව්‍යාපාරය ප්‍රශංසා කරන විට, ප්‍රතිචාර වශයෙන් මම මෙම පින්තූරය බෙදා හරිනවා,” තහීර් ඉම්රාන් පළකළ පින්තූරය ෂෙයා කරමින් නුද්රත් කවාජා ලියයි.

මාධ්‍යවේදිනියක සහ නිවේදිකාවක වන ගරීදා ෆාරුකී මෙසේ ලිවීය: “පාකිස්ථානය ප්‍රියන්ත කුමාරගේ දේහය ඔහුගේ පවුලේ අයට භාර දෙන්නේ මේ ආකාරයෙන් නම්, එය ලැජ්ජාවක්. මේ අසරණ මනුස්සයාගේ ජීවිතය බේරගන්න ඔවුන්ට බැරි වුණා, ගෞරවනීය මරණයක් ලබාගැනීමේ ඉඩකඩ ඔහුගෙන් උදුරා ගත්තා, දැන් අඩුම තරමේ ඔවුන්ට මැරුණ කෙනාව ගෞරවයෙන් යවන්නවත් පුළුවන්. මේ භූමිය මත යම් මනුෂ්‍යත්වයක් ඉතුරු වේවා.”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ට්විටර් පරිශීලක ඉම්රාන් බේග් උපහාසාත්මක ට්වීට් එකක් ලියා තිබුණි. “එක් රාජ්‍යයක් තවත් රාජ්‍යයකට මළ සිරුරක් යවනවා. අවාසනාවකට වගේ, මිනී පෙට්ටියේ ගුණාත්මකභාවය ද රාජ්‍ය ආයතනවල ප්‍රමිතීන්ට අනුකූල යි. මිනී පෙට්ටිය සියුම්ව ඔප දැමූ ලීවලින් හදලා, මුද්‍රා තියලා තියෙන්නේ. මුහුණට උඩින් වීදුරුවක් සවි කරලා. පරිගණකයෙන් ටයිප් කරපු විස්තර ඊට උඩින් තියලා.”

Exit mobile version