සිංහල බෞද්ධ ආණ්ඩුවට එරෙහිව ඉන්දියාවත් එක් කරගෙන බලපෑම් කරන්න විගී සැරසෙයි…

දෙමළ භාෂාව ගැන පාර්ලිමේන්තුව අමතා කී කතාව එහි මුල් වෙඩිමුරය ලු

දිනසේන රතුගමගේ

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජය සහ දකුණේ දේශපාලන බලවේග කුමන තීරණයකට එළඹුනද දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හා උතුරු නැගෙනහිර පළාත් වල අයිතිය වෙනුවෙන් තමන් ඉන්දියාවේද සහය ලබාගෙන කළ හැකි සියලුම බලපෑම් කරන බව තමිල් මක්කල් දේශීය කූට්ටනි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේස්වරන් ඊයේ (5) කිළිනොච්චියේදී පැවසීය.
කිළිනොච්චියේ පැවති උත්සවයක් අමතා කතා කළ මන්ත්‍රීවරයා තමන් දෙමළ භාෂාවේ හා දෙමළ ජනතාවගේ ඉතිහාසය පිළිබඳව පාර්ලිමේන්තුවේදී කතා කළේ එහි පලමු පියවරක් වශයෙන් බවද පැවසීය.
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ඉතිහාසය හා පුරාවෘත්තයන් පිළිබදව ඉන්දියාව සතුවද සාධක විශාල සංඛ්‍යාවක් ඇති බැවින් සිංහල බෞද්ධ බලවේගයන් හා එවැනි රජයන් පමණක් මේ රටේ බිහි කිරීමට කිසිම අයිතියක් නොමැති නිසා තමන් මේ සටන ගෙන යන බවද විග්නේස්වරන් මන්ත්‍රීවරයා පැවසීය.
වරක ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ශ්‍රී ලංකාවේ දෙමළ වැසියන්ටද අයිතියක් ඇති බැවින් දහතුන් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් පමණක් මේ රටේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය විසඳිය නොහැකි බව පෙන්වා දුන් බව කියමින් මන්ත්‍රීවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයන් ගණනාවක්ම කිළිනොච්චිය ජනහමුවේදී ඉදිරිපත් කළේය.
උතුරු නැගෙනහිර පළාත් වල දෙමළ ජනයාට ඇති අයිතිය සුරක්ෂිත කර ගැනීමත් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමත් යන කාරණා වලදී තමන් මේ අරගලය ගෙන යන විට රටේ සෙසු සියලුම දෙමළ දේශපාලන පක්ෂ වල සහය ද ලැබෙන බව කී ඔහු මේ සදහා ඉන්දියාවේ දායකත්වය ලබා ගෙන දෙමළ දේශපාලන පක්ෂ අතර එවැනි එකඟතාවයක් මේ ප්‍රශ්නය සඳහා ලබා ගන්නා බව ද කීය.
දෙමළ ජනතාවට බොහෝ දේ මේ රජයෙන්ද නොලැබෙන විට සියලු දෙමළ බලවේග වලට එකතු වීම හැර වෙනත් විකල්පයක් ඉතිරි නොවන බව විග්නේස්වරන් මන්ත්‍රීවරයාගේ අදහසයි.
ගෝඨාභය රාජපක්ෂගේ රජයට දෙමළ මන්ත්‍රීවරු කීප දෙනෙකුම සහය ලබා දෙන බවට බොරු ප්‍රචාරයක් මේ දිනවල දකුණේ දේශපාලනය තුළ ව්‍යාප්ත වෙමින් පවතින බව කී ඔහු සැබෑ දෙමළ දේශපාලනඥයින් එවැනි මෝඩ තීරණ නොගන්නා බවද දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙණුවෙන් පෙනී සිටින බවද සදහන් කළේය.

Exit mobile version