ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය කර ගැනීම සඳහා කිසිදු දේශපාලන අරමුණකින් තොරව ශ්‍රී ලංකාවට සහාය දීමට සූදානම්!… චීන ජනපති පවසයි.

ශ්‍රී ලංකාවේ ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය කර ගැනීම සඳහා කිසිඳු දේශපාලනික අරමුණකින් තොරව සහාය ලබාදීමට චීන මහජන සමූහාණ්ඩුව කටයුතු කරන බවත්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ   සමඟ සමීපව කටයුතු කිරීම තම අරමුණත් බවත් චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං පවසා තිබේ. 

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සමූළුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සිදු කළ කතාව මඟින් ශ්‍රී ලංකාවේ උපායමාර්ගික ස්වාධීනත්වය පිළිඹිබු වූ බව සඳහන් කළ චීන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව දරණ මධ්‍යස්ථ ස්ථාවරය ඇඟයීමට ලක් කර ඇත.

චීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ   සහ චීන ජනාධිපති ෂී ජින් පිං අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද (20) පෙරවරුවේ චීන මහජන මහ ශාලාවේදී පැවැත්විණි.

“එක් චීනයක්” ප්‍රතිපත්තිය පිළිගනිමින් “එක් තීරයක් – එක් මාවතක්” ක්‍රියා පිළිවෙතට ශ්‍රී ලංකාව ලබාදෙන සහාය පිළිබඳ ෂී ජින් පිං  මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත කෘතවේදීත්වය පිරි නමා තිබේ.


වරාය නගරය හා හම්බන්තොට වරාය “එක් තීරයක් – එක් මාවතක්” ක්‍රියාපිළිවෙත උදෙසා මුලින්ම එක් වූ ව්‍යාපෘති අතරට ගැනෙන බව පෙන්වා දුන් චීන ජනාධිපතිවරයා ලාංකේය නිෂ්පාදන චීනයට ආනයනය කිරීමටත්, ශ්‍රි ලංකාවේ වැඩි වැඩියෙන් ආයෝජනය කිරීමට පියවර ගන්නා බවත් පැවසීය.

ශ්‍රි ලංකාවේ ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ උදෙසා සුහද, ප්‍රායෝගික හා කඩිනම් සහාය ලබාදීමට චිනය කටයුතු කරන බවට ද චීන ජනාධිපතිවරයා යළි සහතික විය.

ෆාහියන් භික්ෂුවගේ හා ෂෙන් හර්ගේ චාරිකා සටහන් ඔස්සේ චීන – ශ්‍රී ලංකා අතීත සබඳතා පිළිබඳ තොරතුරු රැසක් හෙළි වන බවද ෂි ජින් පිං මහතා   දුන්නේය.

වර්තමානයේ චීන කොමියුනිට්ස් පක්ෂයේ නායකත්වය යටතේ චීන ජනතාව එකට එකතුව ඉහළ ආර්ථික වර්ධනයක් ඔස්සේ නවීන චීන අනන්‍යතාවක් ගොඩනැගීම උදෙසා සෑම උත්සාහයක්ම දරමින් සිටින බවද, ජනාධිපති රනිල් වික්‍රමසිංහ  දැවැන්ත අර්බුදයකට ලක්ව සිටි ලාංකිය සමාජය ඉන් මුදවාගෙන සංවර්ධන මාවතකට යොමු කර ඇති බවද චීන ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඈත අතීතයේ පටන් චීනය ශ්‍රි ලංකාවට ලබාදෙන සහාය පිළිබඳ මෙහිදී සිය කෘතඥතාව පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ   ෂී ජින් පිං මහතා සෑමවිටම ශ්‍රී ලංකාව කෙරෙහි මිත්‍රශීලි හා සුහදශීලි ආකල්පයෙන් ක්‍රියා කිරීම අගය කළේය.

ෆාහියන් භික්ෂුවගේ ශ්‍රී ලංකා සංචාරය සිහිපත් කරමින් “සුදු තුරඟ” විහාරස්ථානයේ ලාංකිය බෞද්ධ මන්දිරයක් හා ස්ථූපයක් ඉදිකිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසූ අතර එම කටයුතු සඳහා චීනයේ සහාය ලබාදෙන බව චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

චීනය, මියන්මාරය, ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව එක් කරන සමුද්‍ර ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කිරීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සඳහන් කළේය.

එය ඉතා වැඩදායක කාර්යයක් බව පෙන්වා දුන් චීන ජනාධිපතිවරයා ඒ සඳහා මුලපුරන ලෙස වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියේය.
ඉන්දියන් සාගර කලාපයේ ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රි ලංකාව සංවර්ධනය කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ඉන්දියන් සාගර කලාපයේ සාමය සහ අනන්‍යතාව ආරක්ෂා කිරීමට ශ්‍රි ලංකාව සෑමවිටම කැපවී සිටින බව පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ආසියාව සංවර්ධන කලාපයක් බවට පත් කර ගැනීමේ ව්‍යායාමයේ දී ඉන්දියාව හා චීනය එකට එක්ව ක්‍රියාකළ යුතු බව ශ්‍රී ලංකාවේ ස්ථාවරය බව ද සඳහන් කළේය.

වසර 2048 වන විට සංවර්ධිත රාජ්‍යයක් බවට පත්විම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  එම අරමුණ ජය ගැනීමට “එක් තීරයක් – එක් මාවතක්” 03 වන සමුළුවේදී ප්‍රකාශයට පත් කෙරුණු අට වැදෑරුම් වැඩපිළිවෙළ ඉතාමත් ශක්තිමත් පදනමක් වනු ඇති බව ද පැවසීය.

ගාසා තීරයේ ඇති වී තිබෙන ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ද දෙරටේ නායකයන්ගේ අවධානය යොමු විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විදේශ අමාත්‍ය අලි සබ්‍රි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා   මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

Exit mobile version