සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ස්ටීවන් හෝකිං ගේ පන්ති සගයා වූ ලංකාවේ “නිවුටන් ” මරා දැමූ හැටි… සුබ ගමන් බාහු සහෝදරයා… මාල දිවයිනේ ඉපදුනත් ආයේ ලංකාවෙනම් ඉපදෙන්න එපා!

by editor
ජූලි 25, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

බාහු සහෝදරයා ජීවිතය අත් හැර ඇත. වියපත් මනුෂ්‍යයෙකුගේ නික්ම යෑම ලෝක ධර්මතා සමතයකි. එහෙත් ඒ ධර්මතා මත නොපිහිටන මහා බර සිත් පෙළා දමන්නේ අප අත්හැර ගියේ අපේ අශිෂ්ඨ දේශපාලනය විසින් කිසිම අගයක් නුදුන් ලෝක සම්භාව්‍ය විද්වතෙකුගේ නිහඬ හුදකලා ඛේදවාචකය ඒ නික්ම යෑම තුළ ගැබ් වී ඇති බැවිනි.

බාහු සහෝදරයා කවරෙක් දැයි සමීපව ඒ බරින්ම හඳුනා ගන්නට මග පෑදෙන්නේ 2018 දී ය. එවකට මම මව්බිම පුවත්පතේ සේවය කරමින් සිටියෙමි. ස්ටිවන් හෝකින්ස් නැමැති ලෝකයේ පහළ වූ අති විශිෂ්ට භෞතික විද්‍යාඥයා දිවි සැරියෙන් සමු ගන්නේ මේ වකවානුවේය. සර් අයිසැක් නිවුටන්ටත් වඩා ඉහළ බුද්ධි ඵලයක් සහිතව සිටි හෝකින් ආබාධිතව රෝද පුටුවකට සීමා වී සිටිමින් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය හරහා ලෝකය වෙනුවෙන් අසීමාන්තික සේවයක් කළේය. ඔහුගේ නික්ම යෑම සම්බන්ධව බාහු සහෝදරයා කෙටි සටහනක් තිබිණි. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ සිය පන්ති සගයාගේ නික්ම යෑම පිළිබඳවූ ගැඹුරු කථාවක් බාහු සහෝදරයා ඒ සටහනේ වූයේය. මේ සටහන මව්බිමේ සුසිල් සුරවීර මා අතේ තැබුවේය.

පසුදිනම බාහු සහෝදරයා සොයා ගියෙමි. ඒ බාහුගෙන් මෙතුවක් කල් ඇසූ නීරස දේශපාලනය ගැන අසන්නට නොවේ. ස්ටීවන් හෝකින් ඇතුළු සමකාලීනයන් සමග ඔහුගේ ශාස්ත්‍රීය ජීවිතයේ අත්දැකීම පිළිබඳ අසන්නටය. මිනිසුන් තුළ නොපෙනී ඇති ගැඹුරු යතාර්ථය කුමක්දැයි තත්ත්වාබෝධ කරමින් ජීවිත දෘෂ්ඨිය වෙනස් කළ ඒ සංවාදය මා අතිශය කම්පනයට පත් කළේය.

ඒ සංවාද සටහන 2018 අප්‍රේල් මස 15 වැනි ඉරුදින මව්බිම පුවත්පතේ පළවිය. ඒ සටහන යළිත් උපුටා පල කරමි. ඒ අප අසීමිත මනුෂ්‍ය සම්පත් අකාලයේ මරා දැමු කාලකණ්ණි ජාතියක් බව සිහි කරදීම සඳහාය.

සුබ ගමන් බාහු සහෝදරයා… ආයෙ ලංකාව වගේ රටක ඉපදෙන්නෙ නැතිව අඩුම තරමින් මාලදිවයිනේ හරි ඉපදියන්…

බාහු සහෝදරයාගේ කාර්යාලය ඇත්තේ කොම්පඤ්ඤ වීදිය බැරැක්ක පටු මඟේය. පටු මාවතේ දුගී නිවෙස් අතර තවමත් ශේෂ වී ඇති දුර්වර්ණ වූ පැරණි කුඩා සොල්දර නිවෙසේ පවත්වාගෙන යන පක්ෂ කාර්යාලයේ පැරණි වේවැල් පුටුවකට බරදී ඔහු එනතුරු බලාගෙන සිටියෙමි.

මහා දේශපාලන ප්‍රවාහ තුළ පරඬැල් වුණු ස්වකීය සටන් සගයන් කුණු කානු පල්ලට ඇදවැටී ඉබාගාතේ ඇවිදිනා දේශපාලනික මෘත කලේබර වෙද්දී දශක පහකටත් වඩා ස්වකීය මතවාදය වෙනුවෙන් නොවැටී සටන් කරනා මේ විද්වත් මනුෂ්‍යයාව සමාජයක් ලෙස අප තබා ඇති තැන, විටෙක අප ගැන කලකිරීමක් ඇති කරයි.

එහෙත් නෝම් චෝම්ස්කි, ස්ටීවන් හෝර්කින් වැනි විශ්ව කිර්තියට පත් විද්වතුන් ලාංකික විද්වතෙක් හෝ දේශපාලකයකුගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටියා නම් ඒ බාහු සහෝදයා වෙනුවෙනි. අප නොදන්නාවට ඔහු ලෝකයේ මිනිසෙකි.

වික්‍රමබාහු කරුණාරත්න බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ විදුලි ඉන්ජිනේරු විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙකි. විද්වතුන් විසින් අයිසැක් නිව්ටන්ටත් වඩා ඉහළින් ඔසවා තැබූ මහා භෞතික විද්‍යාඥයා වන, ස්ටීවන් හෝකින් බාහු සහෝදරයා සමඟ එකම පීඨයක අධ්‍යාපනය හැදෑරූ සරසවි සගයෙකි.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ස්ටීවන් හෝකින්

..අප දැන් සැරසෙන්නේ ඔහුගේ දේශපාලනික නොවන ජීවිතය පිළිබද කෙටි පිළිසඳරකටය..

‘මගෙ මවුපියො ගුරුවරු. මං උපදිනකොට මගෙ අම්මයි තාත්තයි උගන්වමින් හිටියෙ ඌව පළාතෙ දුෂ්කර ගමක. මම ඉපදුණේ ලුණුගල ඉස්පිරිතාලෙ. මට අවුරුදු හතරෙදි අම්මලා මාරුවක් අරන් මතුගමට ඇවිත් පදිංචි වුණා. මූලික අධ්‍යාපනය ලැබුවෙ මතුගම ආනන්ද ශාස්ත්‍රාලයෙන්. ඒ කාලෙ හයවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගන්න කොළඹ ආනන්ද විද්‍යාලයෙන් තරග විභාගයක් තිබුණා. 1953 අවුරුද්දෙ මම මේ තරග විභාගයට ලියලා සමත් වුණා. ඒ වෙනකොට කොළඹ ආනන්දය රජයේ විදුහලක් නොවෙයි. පරම විඥානාර්ථ බෞද්ධ සමාගමට අයත් ඉස්කෝලයක්.

ලංකාවෙ මුල්ම වරට සිංහල භාෂාවෙන් එස්.එස්.සී ලියපු කණ්ඩායම වුණේ අපේ කණ්ඩායම. සාමාන්‍ය පෙළ විදිහට තිබුණ එස්.එස්.සී වගේම උසස් පෙළ වෙනුවට තිබුණ එච්.එස්.සී විභාගත් පළමු පන්තියේ සම්මාන සහිතව මං සමත් වුණා. මම සරසවියට යන්නේ 1962දි. මාව කොළඹ විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයට තේරුණා.

අවසන් වසරෙදි අපි හිටියෙ පේරාදෙණිය සරසවියෙ. මා උපාධිය ඉහළින්ම සමත් වුණා. මගෙ ප්‍රතිඵල අනුව 1965දී මා කනිෂ්ඨ කථිකාචාර්යවරයෙක් විදිහට පත්කර ගත්තා. මාත් සමඟ පළමු පන්තියේ සාමාර්ථ ගත්තු හයදෙනෙක් හිටියා. අපි හැමෝටම ආචාර්ය උපාධිය සඳහා විදේශ ශිෂ්‍යත්ව ලැබුණා. මම පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ලැබුණු ශිෂ්‍යත්වයකට මගෙ ආචාර්ය උපාධිය හදාරන්න කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට ගියා. ඒ ශිෂ්‍යත්වය ලැබුණේ වර්ෂ 1967දී.

කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාල ජීවිතය

කේම්බ්‍රිජ් එකට යන ඕනෑම කෙනෙක් යන්නෙ කොලේජ් එකකට. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ කොලේජ් එකක් කියන්නෙ සරසවි ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනික නොවන ජීවිතය කළමනාකරණය කරන තැන. ඔවුන්ගෙ කෑම බීම ගැන, දුක්ගැනවිලි ගැන, සමාජ ජීවිතය ගැන, ක්‍රීඩා හා වෙනත් විෂය බාහිර ක්‍රියාකාරකම් ගැන, සොයා බලන ශිෂ්‍ය නිවාසය. කේම්බ්‍රිජ් සරසවියෙ කොලේජ් එකක් කියන්නෙ නේවාසිකාගාරයකට වඩා වැඩි තැනක්.

ශිෂ්‍යයෙක් අධ්‍යාපනය ලබන තැන ඩිපාර්ට්මන්ට් එක. මගේ ඩිපාට්මන්ට් එක තමයි ඇප්ලයිඩ් මැතමැටික්ස් ඔෆ් තියරිටිකල් ෆිසික්ස්. සිංහලෙන් කියනවා නම් න්‍යායාත්මක භෞතික විද්‍යාවේ ව්‍යවහාරික ගණිත අංශය. මගේ ඩිපාර්ට්මන්ට් එකේ තමයි ස්ටීවන් හෝකින් හිටියෙ. අපි ඔක්කොම 25කට වැඩිය හිටියෙ නෑ. මම යනකොට හෝකින් පර්යේෂණ ශිෂ්‍යයෙක්. මමත් පර්යේෂණ ශිෂ්‍යයෙක් විදිහට සම්බන්ධ වුණේ.

යුනිවර්සිටි එකේ තිබුණා කොලේජ් ඔෆ් ආර්ට් ඇන්ඩ් ටෙක්නොලොජි කියලා තැනක්. එතන හවස හා සෙනසුරාදා පන්ති තියනවා. ඒවට ගොඩක් අය යනවා. මට මූර්ති කලාව පුළුවන් නිසා මං එතන පොටරි ඇන්ඩ් මොඩලින් කියන ක්ලාස් එකට. අපි දහයක්වත් හිටියෙ නෑ.

චාල්ස් කුමාරය එන පොටරි ක්ලාස් එක

එතැනින් එහා තියන පොටරි ක්ලාස් එකට චාල්ස් කුමාරය එනවා. චාල්ස් කුමාරය එන පොටරි ක්ලාස් එකට ළමයි සිය ගණන් එන්න පොරකනවා. චාල්ස් කුමාරය එක්ක පොටරි කළා කියලා කියන්න කැමති හින්ද වෙන්න ඇති. යුනිවර්සිටි එකේදි මට ගොඩක් වෙලාවට චාල්ස් කුමාරය හම්බවුණා. ඔහු එන්නෙ ආරක්ෂකයොත් එක්ක. සුප්‍රකට තාරකා විද්‍යාඥ ශ්‍යාමන්, ලෝ ප්‍රකට මහාචාර්ය ඩවුටි ඒ කාලෙ කේම්බ්‍රිජ් එකේ හිටියා. ජාන විද්‍යාව සම්බන්ධ විශිෂ්ටම පර්යේෂණ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ කෙරෙමින් තිබුණෙ මං අධ්‍යාපනය හදාරන වකවානුවෙ.

අපි විසිපහකට වඩා නොඅඩු කණ්ඩායමක් හිටියට අපි කළ පර්යේෂණ වෙනස්. හෝකින්ගේ කණ්ඩායම හිටියෙ වෙනත් කාමරයක. ඔවුන් විශ්වය සම්බන්ධ පුළුල් ක්ෂේත්‍රයක පර්යේෂණ කළා. ඔහුගෙ කණ්ඩායමේම පර්යේෂණ සගයෙක් තමයි ලාංකිකයෙක් වූ ආචාර්ය ශාන්ත ද අල්විස්. ශාන්ත මේ වනවිට ඉන්නෙ ඇමරිකාවෙ. ඔහු විශිෂ්ට විද්‍යාඥයෙක්. මට වඩා ගොඩක් හොඳට ශාන්ත හෝකින්ව දන්නවා.

මම හිටියෙ හෝකින්ගෙ පර්යේෂණ කණ්ඩායමේ නෙමෙයි. තරංගවලට බාධක ඇතිවන ආකාරය ගැන තමයි මා ඇතුළු මගේ කණ්ඩායම පර්යේෂණ කළේ. කණ්ඩායම භාරව හිටියෙ ආචාර්ය ක්ලෙමෝ. ආචාර්ය ක්ලෙමෝ කටයුතු කළේ ලෝකයේ සුප්‍රකට තාරකා විද්‍යාඥ ශ්‍යාමන් යටතේ.

සූර්යයාගෙන් පිටවන වලාකුළු වගේ දෙයක් තියනවා. ඒවා පාවෙලා යනවා. එහි ඇතිවන යම් යම් තරංගවලින් පිපිරීම් ප්‍රමාණයක් ඇති වෙනවා. අපි ඒ පිපිරීම් ගැන පරීක්ෂණ කළා. ඒක නිශ්චිත විෂයයක්. හෝකින්ස්ලාගෙ පර්යේෂණ ක්ෂේත්‍රය ඊට වඩා පැතිරිලා තිබුණා. ඔවුන් විශ්වයේ විවිධ පැතිවලට බලපාන කරුණු ගැන පර්යේෂණ කළා.

ස්ටිවන්  හෝකින්

හෝකින් සහ ජේන්…

අපි හැමෝම හැමදාම එකට හම්බවෙනවා. කතාබහ කරනවා. ශාන්ත ද අල්විස් හෝකින්ගේ මිතුරෙක් වීම නිසාම අපි අතර හොඳ සබඳතාවක් ගොඩනැඟෙනවා. ඔහුගෙ මුල් බිරිය ජේන් වයිල්ඩ් හෝකින්ගෙ සමීපම මිතුරිය විදිහට තමයි ඒ කාලයෙ හිටියෙ. ඒත් මං දැනගෙන හිටියෙ නෑ ඒ වෙනකොට ඔවුන් විවාහ ගිවිසගෙන හිටියෙ කියලා.

මා දන්න කාලෙ හෝකින් හොඳට හිටියා. ඇවිද්දා. හොඳට කතාබහ කළා. ඔහු ගොඩක් කඩා වැටිලා රෝද පුටුවක යන තත්ත්වයට පත්වුණේ අවුරුදු දෙකක් ඇතුළතදී. එයා රෝද පුටුවකට වැටුණෙ මම බලාගෙන ඉද්දි. ඒ වෙනකොට ජේන් තමයි එයාව රෝද පුටුවෙ තියලා තල්ලු කරගෙන ආවෙ. ඇය සාමාන්‍ය උපාධියක් කළේ. ඇය ඔහු හා විවාහ ගිවිසගෙන තිබුණේ ඔහුගෙ බරපතළ රෝගී තත්ත්වය ගැන දැනගෙන. ඇයට හෝකින් වෙනුවෙන් ගොඩක් දේවල් කැප කරන්න සිද්ධ වුණා.

හෝකින් ප්‍රියමනාප කෙනෙක්. ඔහු තුළ කිසිම කුහකකමක් තිබුණෙ නෑ. යමක් ඇහුවොත් වුවමනාවෙන් කියලා දෙන්න හදනවා. එයාගෙ අදහස පැහැදිලි කරනවා. හිනාවෙන්න පුළුවන් දේවල් කියනවා. ඔහුගෙ තිබුණ විශේෂම ලක්ෂණය තමයි ලේසියෙන් කෙනෙක්ව හිනස්සවන්න හැකි වීම. ඔහු විටෙක හාස්‍යයෙන් පිරුණු කෙනෙක්. ඒවගේම හෝකින් කැමැති වුණේ නෑ එයාට අමාරුකම් තියනවා කියලා පෙන්වන්න. ඔහු හැම වෙලාවෙම කිව්වෙ මට ප්‍රශ්නයක් නෑ කියලා. ධනාත්මකව ජීවිතයට මුහුණ දෙන්න ඔහුට හැකි වුණා. ඔහුගෙ දර්ශනයත් හැදෙන්නෙ එහෙමයි. “ඔබ මනුස්සයෙක් නම් ඔබ නොපසුබස්නා වීර්යයෙන් යමක් කළ යුතුයි. ඔබ ලෝකයට වටිනා කෙනෙක්. ලැබුණු ජීවිතේ පුළුවන් තරම් ප්‍රයෝජනයට ගන්න”. ඔහු හැම විටම කිව්වෙ ඒක.

ඒ කාලෙත් හෝකින් දෙවියන් ගැන සැක පහළ කළා. පර්යේෂණ තුළත් ඔහු එය ගොඩනැඟුවා. අවසාන කාලයෙදී ඔහු මුළුමනින්ම දෙවියන්ව ප්‍රතික්ෂේප කළා. ඔහු ගොඩනඟපු දර්ශනය බෞද්ධ දර්ශනයට අතිශයින් සමීප වුණා.

විශ්වය කියන්නෙ ඉමක් කොනක් නැති එකක් නොවෙයි

මෑත කාලයේදී විශ්වය පිළිබඳ ඇති වූ මතය තමයි එහි සීමාවක් තියනවා කියන එක. ඒත් විශ්වය පුළුල් වෙනවා, පැතිරීගෙන යනවා, කියලා ඔවුන් කීවා. ඒ නිසා අපි අතරෙ දුරස් භාවය වැඩි වෙනවා කියලා ඔවුන් කීවා. ඒ මතවාදය අනුව විශ්වයට සීමාවක් තියනවා. එහෙම නම් විශ්වය කියන්නෙ ඉමක් කොනක් නැති එකක් නොවෙයි. විශ්වයේ විකාශනයෙන්මයි විශ්වය ඇතිවෙන්නෙ.

විශ්වය තුළම තිබෙනවා කළු කුහර. ඒ කළු කුහරය තුළට ද්‍රව්‍ය ගමන් ගන්නවා. ඒ ගමන් කරන ද්‍රව්‍ය නැවත එන්නෙ නෑ. හෝකින් මේ විෂය සම්බන්ධව විශේෂ පර්යේෂණ කළා. ඔහු කිව්වා කළු කුහරයත් මේ විශ්වයේම ද්විත්වතාවක් කියලා. ඒක තියෙන්නෙ කොහෙද කියලා ඔහු ගණිතමය සිද්ධාන්ත හරහා පෙන්නුවා. ඔහුට අනුව කළු කුහරයෙන් අර්ථවත් වෙන්නෙ අඳුරු විශ්වයක්. ඒකට ඇතුළු වන ද්‍රව්‍ය නැති වෙන්නෙ නෑ. ඒවා අඳුරු වෙනවා.

හෝකින් කිව්වෙ හැම දෙයකම ප්‍රතිවිරුද්ධ දෙයක් තියනවා කියලා. ආලෝකවත් විශ්වයේ ප්‍රතිවිරුද්ධත්වය තමයි අඳුරු විශ්වය. අඳුරු විශ්වය හා ආලෝකවත් විශ්වය එකට බැඳිලා තිබෙන්නෙ. මේ ද්විත්ව විශ්වය පැතිරෙනවා නම් ඒ පැතිරෙන්නෙ කොහෙද. අපේ විශ්වය වාගේ විශ්ව අනන්ත ප්‍රමාණයක් තියන මහා විශ්වයක් තුළ. එහි ඉමක් නෑ. බුදුන් වහන්සේ කිව්වා ලෝක විෂය අචින්ත්‍යයි කියලා. විශ්වයේ ස්වරූපය ගැන හෝකින් පෙන්නපු මේ සංකල්පය බෞද්ධ දර්ශනයට සපුරා එකඟයි.

රනිල් රස්සාව නැති කළ හැටි

මා ආචාර්ය උපාධිය නිම කර කේම්බ්‍රිජ් සරසවියෙන් පිට වුණා අවුරුදු තුනකින්. මගේ ආචාර්ය උපාධි නිබන්ධනය කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් මුද්‍රණය කරන සුප්‍රසිද්ධ “ප්ලාස්මා ෆිසික්ස්” සඟරාවෙ පළ වුණා. පස්සෙ මම ලංකාවට ආවා. අවුරුදු 18ක් විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් ලෙස කටයුතු කළා. 1978 දී යූ.එන්.පී ආණ්ඩුව මාව සරසවියෙන් ඉවත් කළා. එතකොට අධ්‍යාපන ඇමති රනිල් වික්‍රමසිංහ. අවුරුදු 40කට පස්සෙ රනිල් වික්‍රමසිංහ අගමැතිගෙ ආණ්ඩුව යළිත් මාව සේවයේ පිහිටෙව්වා.

රනිල් වික්‍රමසිංහ 1978 දී බාහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පළවා හල අධ්‍යාපන ඇමති… 2018 දී අවුරුදු 40ක හිඟ වැටුප් සමග බාහු සේවයේ පිහිටවු අගමැති…

විශ්වවිද්‍යාලයෙන් නෙරපා සිටි වකවානුවේ විවෘත විශ්ව විද්‍යාලයේ උපදේශකවරයෙක් විදිහට වැඩ කළා. පර්යේෂණ කණ්ඩායමක් එක්ක බුදු දහමේ දර්ශනවාදය පිළිබඳ පර්යේෂණයක් කළා. මගෙ පර්යේෂණ ක්ෂේත්‍රය වුණේ බුදු දහම, විද්‍යාව හා මාක්ස්වාදී දර්ශනය. මේ දර්ශනවාද තුනෙන්ම ලෝක විෂය පිළිබඳ ඉදිරිපත් කරලා තිබෙන්නෙ එකම කරුණු. මා මේ සම්බන්ධව නිබන්ධනයක් ඉදිරිපත් කළා.

මේ අදහස පදනම් කරගෙන මහාචාර්ය වයි. කරුණාදාස හා මම මේ වනවිටත් ඒ පිළිබඳව තවදුරටත් හදාරමින් ඉන්නවා. ඒ හැදෑරීම පදනම් කරගෙන ෆිලෝසොෆි ඔෆ් බුඩිසම් ඇන්ඩ් සයන්ස් කියන පර්යේෂණ කෘතිය ගොඩනන්වනවා.

හෝකින් බාහු වෙනුවෙන් පෙනී සිටි හැටි

නැවත හෝකින් ජීවමානව සිටි කාලයේ මා වෙනුවෙන් එක් අවස්ථාවක පෙනී සිටියා. මට කැනඩාවෙ සරසවියකින් විශේෂ දේශනයකට ආරාධනා ලැබුණා. සියල්ල සැකසෙමින් තිබෙද්දි කැනඩාව මගෙ වීසා නැවැත්තුවා. ඒ මම කොටි සංවිධානය එක්ක සම්බන්ධකම් තියන පුද්ගලයෙක් කියලා. මට ආරාධනා කළ පාර්ශ්වය මේ සම්බන්ධව ලෝකය තුළ සංවාදයක් ඇති කළා. අනතුරුව ලෝක විද්වතුන්ගෙ අස්සන් සහිත පෙත්සමක් ඉදිරිපත් කළා. ඒ පෙත්සමට ස්ටීවන් හෝකින් අස්සන් කළා. නෝම් චොම්ස්කි අස්සන් කළා. කැනඩා රජයට විරුද්ධව ඒ සංවිධානය නඩු කියලා කැනඩා රජය පැරදුණා. පස්සෙ කැනඩා එම්බසියෙන් මාව හොයාගෙන ගෙදරට ආවා. ඇවිත් සොරි කියලා කැනඩාවට යන්න වීසා අනුමත කළා කියන පණිවුඩය කිව්වා. මං ඒ අයට කියලා යැව්වා – උඹලගෙ ජරා රටට මට ආයෙ කිසි දවසක එන්න ඕන නෑ කියලා.’

බාහු සහෝදරයා සදය සිනහවකින් මුව සරසා ගත්තේය. අප විශ්වාස කරන පරිදි ඔහු අපට ශ්‍රී ලාංකිකත්වයේ චමත්කාරය කියා දෙන දර්ශකයක්ය. ඔහු ස්ටීවන් හෝකින්ලා සමඟ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය කළේය. සූර්ය තරංග පිළිබඳ කළ ඔහුගේ පර්යේෂණයට අදාළ ආචාර්ය උපාධි නිබන්ධනය කේම්බ්‍රිජ් සරසවියෙන් ප්‍රකාශයට පත් කළේය. අනතුරුව ඔහු ලංකාවට ආවේය. කේම්බ්‍රිජ් සරසවිය ස්ටීවන් හෝකින්ව නිවුටන්ටත් ඉහළින් තබා සම්භාවනාවට ලක් කළේය. රෝදපුටුවට සීමා වුණු ඔහු වෙනුවෙන් ඉන්ටෙල් සමාගම විශේෂ පරිගණකයක් නිර්මාණය කර ඔහුගේ විශ්මයාම දැනුම අවසාන මොහොත වනතුරු ලෝකයට ලබා ගන්නට කටයුතු කළේය. බාහුගේ සමකාලීන ශ්‍රී ලාංකික සගයා ශාන්ත ද අල්විස් ඇමෙරිකාවට ගියේය. ඔහු මේ වනවිට ඇමෙරිකාවේ විශිෂ්ට විද්‍යාඥයෙක්ය.

ලෝකය පිළිගත් විද්‍යඥයෙක් ලෙස ලංකාවට පැමිණි ආචාර්ය වික්‍රමබාහු 1978 දී පේරාදෙණිය සරසවියෙන් පන්නා දැම්මේය. ඉන් අනතුරුව ඔහු අවුරුදු හතළිහක් පූර්ණකාලීනව වාමාංශික දේශපාලනය කළේය. ඉඩ ලැබෙන අතරේ පර්යේෂණ කටයුතුවල නිරත විය. දශක හතරකින් අනතුරුව එනම් බාහුට අවුරුදු හැත්තෑවත් ඉක්ම ගිය පසු ඔහුව යළි හිඟ වැටුප් සහිතව සේවයේ පිහිටෙව්වේය. දැන් ආචාර්ය වික්‍රමබාහු මහාචාර්ය වික්‍රමබාහුය. හැබැයි මහාචාර්ය වික්‍රමබාහු දැන් පෙන්ෂන්ය. අප ලෝකයේ වෙනස් ජාතියක් වන්නේ ඒ නිසාය.

සංවාද සටහන -ජානක ලියනආරච්චි- 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වික්‍රමබාහු දිවි ගමනට සමු දෙයි!

Next Post

ජනාධිපතිවරණය පිළිබඳ දින නියම කරන ගැසට්ටුව හෙට… මැතිවරණ කොමිසම නිවේදනය කරයි!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.