ජයකාන්ත ලියනගේ – බළපිටිය
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පතිනිය ගුරුවරයෙකුට අපහාස කරමින් බැණ වැදුනා යැයි පවසමින් විදුහලේ ගුරුවරුන් පිරිසක් ඊට විරෝධය පලකරමින් අද (17) පෙරවරුවේ සිට රාජකාරී වලින් ඉවත්ව සිටියහ.
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ මෙවර අපොස උසස් පෙළට ඇතුළත්කර ගන්නා ලද සිසුන්ගෙන් නීතිනුකූල නොවන අයුරින් එකතු කරන ලද රුපියල් හත්ලක්ෂ තිස් පන් දහසක (7,35,000/-) මුදලක් ආපසු බෙදා දීමට යෑමේදී ඇති වූ මත ගැටුමක් දුර දිග යෑමෙන් මෙම බැණ වැදීම සිදුකර තිබෙන බව විදුහලට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ මෙවර අපොස උසස් පෙළ පන්තිවලට ඇතුළත් වන සිසුන්ගෙන් රුපියල් 27,000/- කට අධික මුදලක් එකතු කරන බවත් එයින් රිසිට් පතක් නිකුත් කරන්නේ පහසුකම් ගාස්තු හා පාසැල් සංවර්ධන සමිතියට ලෙසින් රුපියල් 7920/- කට පමණක් බවත් පසුගිය 10 දින මාධ්‍ය මගින් අනාවරණය කර තිබුණි.
මෙසේ මාධ්‍ය මගින් හෙලිදරව් කරන තොරතුරු එක් ගුරුවරයෙකු විසින් ලබා දෙන්නේ යයි කියමින් ඔහු ඉලක්ක කර ගනිමින් අද (17) අදාල ගුරුවරයා රාජකාරියට වාර්තා කිරීමට ගිය වස්ථාවේදී මෙම බැන වැදීම සිදුකර තිබෙන බවත් ඊට විරෝධය පල කරමින් ගුරුවරුන් ඉගැන්වීමේ කටයුතු වලින් බැහැරව මෙසේ විරෝධතාවය දැක්වා තිබෙන බවද වාර්තා වේ.
සිය සහෝදර ගුරුවරයාට විදුහල්පතිනිය බැණ වැදී ඇති බවත් ඔහුට අත්සන් ලේඛනයේ අත්සන් කිරීමට පවා ඉඩ නොදී එළියට දමන ලෙස පාසලේ ආරක්ෂක නිලධාරීන්ට පවසා ඇති බවත් නම හෙලිකිරීමට අකමැතිවූ විරෝධයේ යෙදී සිටි ගුරුවරයෙක් පැවසුවේය.
මෙම ගුරු වර්ජනය පිළිබඳව අදහස් දැන ගැනීමේ අරමුණින් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ විදුහල්පතිනි සනූජා ජයවික්‍රම සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එම උත්සාහය ව්‍යර්ථ විය.
ඇයගේ දුරකතනය දිගින් දිගටම නාද වුවත් ඊට පිළිතුරු දීමෙන් වැලකී විදුහල්පතිනිය වැලකී සිටියාය.