සර්ව පාක්ෂික ආර්ථික පුනර්ජීවන සැලසුමක් ගොඩනැගීමට මා මුදල් කාරක සභාවේ සභාපති තනතුර භාරගැනීමට සූදානම්

පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපතිකම ගන්න ආචාර්ය හර්ෂ කැමති වෙයි

Harsha De Silva

මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාර්ක සභාවේ සභාපති ධුරය භාර ගැනීමට තමන් සූදානම් බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. මේ වනවිට සිය පක්ෂය තම නම ඒ සඳහා යෝජනා කර ඇති බවත් පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් ලබාදීමට වෙනුවෙන් තමන් මේ පියවර තබන බවත් ඔහු තවදුරටත් සඳහන් කරයි.

“මේ අවස්ථාවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩ නැගෙන්නේ නැත. එයට හේතුව ජනතා මතයට හිස නමා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත්වීම සඳහා කාලවකවානුවක් ලබා නොදීමයි. ප්‍රතිපත්ති පාවාදී ආණ්ඩුවට එකතුවී ජනතා අරගලයට එරෙහිවීමට මා කටයුතු නොකරමි.

කෙසේවෙතත්, පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් ලබාදීමට මා වැදගත් ඉදිරි පියවරක් තබන්නෙම්. ඒ පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධූරය ලබාගැනීමට මා බලාපොරොත්තු වීමයි. ඒ සඳහා සමගි ජන බලවේගය මාගේ නම යෝජනා කරනු ඇති අතර ඒ සඳහා සහයෝගය හිමිවනු ඇතැයි අපි විශ්වාස කරමු.


මා මෙහිදී බලාපොරොත්තු වන්නේ මුදල් කාරක සභාවේ සභාපති ධූරයට පත්වූ පසුව එහි සර්ව පාක්ෂික කමිටුවක් මගින් ආර්ථික පුනර්ජීවන සැලසුමක් සකස් කිරීමට නායකත්වය ලබාදීමටයි. පසුව එම සැලසුම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන එය ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබාදීමට මා අදහස් කරමි. මේ අවස්ථාවේ ජනතා මතය වන්නේ සර්ව පාක්ෂික මැදිහත්වීමක් මගින් මේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම වන අතර මුදල් කාරක සභාවේ සභාපති ධූරය තුළින් ඒ ජනතා අපේක්ෂාව ඉටුකළ හැකියැයි මා විශ්වාස කරමි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මුදල් පිළිබඳ බලය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවට හිමිවන අතර මුදල් කාරක සභාවේ අනුමැතියකින් තොරතුරුව පාර්ලිමේන්තුව තුළ කිසිම මුදල් පනතක් සම්මත කළ නොහැකිය. ඒ තරමටම මෙම කාරක සභාව බලවත්ය. ජනතා මතය සුරකිමින් මේ ආකාරයෙන් රටට මේ අවස්ථාවේ මාගේ සේවය ලබාදීමට මා අදිටන් කරගෙන සිටිමි. “ ආචාර්ය හර්ෂ තවදුරටත් එසේද සඳහන් කරයි.

Exit mobile version