හෙට (11) දින නියම කර තිබූ සබරගමුව මහ සමන් දේවාලයේ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් කර තිබේ.
එම දේවාලයේ තාවකාලික භාරකරු වශයෙන් පත් කර තිබූ එස්. වී.චන්ද්‍රසිංහ විසින් ගොණු කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් පසු ලබන 20 වනදා තෙක් බල පැවැත්වෙන පරිදි එම අතුරුතහනම් නියෝගය අභියාචනාධිකරණය විසින් නිකුත් කළේය.
අදාළ නිලවරණය පැවැත්වෙන ආකාරයේ නීතියට පටහැනි බව සඳහන් කරමින් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළේය.
සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ වරයාගේ ධූරකාලය පසුගිය දෙසැම්බර් 31 අවසන් වූයේය.
විහාර දේවාලගම් පනතට අනුව බස්නායක නිලමේ වරයෙක් ඊලඟ නිලවරණයෙන් තෝරා ගන්නා තුරු තාවකාලික භාරකාරත්වය සඳහා කෙනෙක් නම් කරනු ලැබිණි. ඒ සිදුකළේ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා මගිනි. එම තාවකාලික භාරකරු වූයේ එස්. වී.චන්ද්රසිංහය.
ඔහුගේ පත්වීමට එරෙහිව විශාල උද්ඝෝෂණයක් සමන් දේවාලයේ කපු ධූරය දරන පුද්ගලයන් ඇතුළු පිටස්තර කණ්ඩායමක් විසින් ඇති කර තිබිණි. ඒ සම්ප්රදාය බිඳ දමා දේශපාලන පත්විමක් කළ බවට වූ චෝදනාව සමගය. රජය එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළේය.
නිලවරණයට එරෙහිව අභියාචනාධිකරණයට ගොස් අතුරු තහනම් නියෝගයක් ලබාගෙන ඇත්තේ මෙම තාවකාලික භාරකාරවරයාය.







