සපුගස්කන්ද බිඳ දැමීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන්න… වෘත්තීය සමිති ඉල්ලයි!

කීර්ති ප්‍රනාන්දු –

රටක පැවැත්මට අත්‍යවශ්‍ය වූ ඛණිජතෙල් පිරිපහදු කර සැපයීමේ ක්‍රියාවලිය වෘත්තීය අරගලවල දී පවා අඛණ්ඩව පවත්වාගෙන ගිය අතිශය වගකීම් සහිත ක්‍රියාවලියක් බවත්, ඒ ජාතික වගකීම මේ තරම් හිරිකිත සහ නින්දා සහගත අයුරුන් බිඳහෙළීම පිළිබඳව විධිමත් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස බලශක්ති  ඇමතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ඛණිජතෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල  පැවසීය.

ඔහු මේ බව පැවසුවේ දැන් ඛණිජතෙල් වෘත්තීය සමිති ලෙස ඔවුන් ගන්නා ක්‍රියාමාර්ගයන් පිළිබඳව ලංකාසර කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

එහිදී සභාපතිවරයා මෙසේ ද පැවසීය.

පිරිපහදුව පවත්වා ගැනීම සදහා අත්‍යවශ්‍ය සාධකයක් තමයි බොරතෙල්. 1969 දී පිරිපහදුව ආරම්භ කළ අවධියේ සිට මේ දක්වා මේ සම්බන්ධව ඉතාම පුලුල් සහ ස්ථාවර ක්‍රමවේදයක් අනුගමනය කළා. කල්වේලා ඇතුව ඇනවුම් කරලා දිනපතා පිරිපහදු කිරීමට අවශ්‍ය බොරතෙල් ගබඩා කරගෙන අඛණ්ඩව සැපයීමට සංස්ථා පාලන අධිකාරියත්, ඛණිජතෙල් අයත්වන අමාත්‍යාංශයත්,  කැබිනට් එකත් පූර්ණ වගකීමකට බැඳී ඉන්නවා.


ඒ නිසා තමයි ඛණිජතෙල් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කරලා තියෙන්නෙ.  පිරිපහදු ක්‍රියාවලිය බිඳ වැටීමට නොදී ආරක්ෂා කරගැනීම ඔවුන් සතු නිශ්චිත ජාතික වගකීමක්.

මෙන්න මේ ක්‍රියාවලිය ඉතාම දුෂ්කර තත්වයන් තුළ ක්‍රියාත්මක වුනා. මැද පෙරදිග යුද ගිනිදැල් ඇවිලෙද්දී ක්‍රියාත්මක වුනා. කුවේට් යුද්ධය ඉරාක යුද්ධය මෑත කාලීන යුද තත්වයන් තුළ නැව් ගමනාගමනය මුලුමනින් බිඳ වැටිලා තිබෙද්දි රටේ හිටිය පාලකයො ජාත්‍යාන්තරව රාජ්‍යාතාන්ත්‍රිකව කතා කරලා අඛණ්ඩව බොරතෙල් ගෙනන්න ඕන වැඩපිළිවෙළක් සකස් කළා.

ඒ වෙලාවෙදියි ඛණිජතෙල් සේවකයන් තුළ සැකයක් ඇතිවුණේ බොරතෙල් සැපයීම නැවැත්වුවහොත්  පිරිපහදුව වහන්න වෙයි   කියලා. නමුත් ඒ තත්වයන් ඇතිවෙන්න දෙන්නෙ නැතිව වගකිවයුතු සියලුම පාර්ශව විශාල මැදිහත්වීමක් කරලා පරිපහදුව පවත්වාගෙන ගියා.

සමහර අවස්ථාවල  නැව්  පමාවන් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මෝසම් සුළං නිසා මුහුද රළු වීම, ගොඩබාන්න තියන දුෂ්කරතාවයන් බෝයාවේ තියන තත්වයන්, නලය පිපිරීම නිසා තෙල් සැපයීමේ පමා  වීම් වුණා.   ඒ අවස්ථාවෙදි පිරිපහදුවෙ සිටින ශිල්පීන්, ඉංජිනේරුවරයන් ඇතුළු සියලු දෙනා එකතු වෙලා ඉතාම අමාරුවෙන් දින කීපයක් සේවාවන් පවත්වාගෙන ගිහින් බොරතෙල් ටික ගත්තා.  එහෙම වුණේ ඉතාම දුෂ්කර තත්වයන් යටතේ.

විශේෂයෙන්ම ඛණිජතෙල්  සංස්ථාව බිඳ වැටෙද්දි අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගනිද්දි පිරිපහදු ක්‍රියාවලිය බිඳවැටෙන්න දෙන්නෙ නැතිව ආරක්ෂා කරගෙනයි අපි වෘත්තීය ක්‍රියාමාර්ග ගත්තේ. මේ සියලු විදිහට සංස්ථා සේවකයින් සහ සංස්ථා නිලධාරීන්ගේ පරම යුතුකම වුනේ පිරිපහදුව පවත්වා ගැනීම. ඒ විනාශය ඒ අපරාධය අද පාලකයින් විසින්ම කරලා තියනවා. අඛණ්ඩව බොරතෙල් සපයලා පිරිපහදුව පවත්වාගෙන යෑමේ අත්‍යාවශ්‍ය සේවාව මේ වනවිට කිසිම හිරිකිතන් තොරව සම්පූර්ණයෙන් බිඳ හෙළලා තියනවා.  ඒ පිලිබඳව පුලුල් පරීක්ෂණයක් කරන්න කියලා අපි වෘත්තීය සමිති ලෙස ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

අපි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නකොට විතරයි ද මේවා අත්‍යාවශ්‍ය සේවා වෙන්නේ.   අපි කරන ප්‍රකාශ  සම්බන්ධව සී.අයී.ඩී. පරීක්ෂණ කරන්න නෙමෙයි තියෙන්නෙ. රහස් පොලිසිය මගින් හෝ බොරතෙල් සපයන්න නොහැකිවීම පිළිබඳව පුලුල් පරීක්ෂණයක් පවත්වන්න.

මේ මොහොතේ දී ඛණිජ තෙල් නීතිගත සංස්ථාව දැවැන්ත ණය බරක් ඇති කරලා තියනවා. එක පැත්තකින් ඩොලර් මිලියන තුන්දාස් තුන්සිය ගණනක ලංකා බැංකුවට, මහජන බැංකුවට ණය වෙලා තියනවා. ඒ නිසා ස්වාධීනව ණයවර විවෘත කිරීමේ හැකියාව නැති කරගෙන තියනවා.

අනික් පැත්තෙන් අපි රුපියල්වලින් සල්ලි එකතු කරන් ඩොලර් වලට පරිවරතනය කරගන්න බැරි තත්වයක් ඇතිවෙලා තියනවා. මහා භාණ්ඩාගාරය මගින් ඩොලර් වලින් සල්ලි දෙන්න බැරි තත්වයක් ඇතිවෙලා තියනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සංස්ථාව වර්ෂ 2002 සිට මේ තත්වයට ඇද දමපු පාලන අධිකාරීන්, දේශපාන බල අධිකාරීන්  ඇතුළු සියලු පාලකයින් අපි වෘත්තීය සමිති විදිහට දැඩි අප්‍රසාදය විරෝධය    ප්‍රකාශ කරනවා.

Exit mobile version