සංගාගේ ඉඩම් කෙළියෙන් තවත් කෙළි රැසක් එළියට…

දේශපාලකයන්, ව්‍යාපාරිකයන්, ක්‍රීඩකයන් සිදුකළ  ඉඩම් වංචා එක පිට හෙළි වේ...

කුමාර් සංගක්කාර සම්බන්ධව මතු වූ ආන්දෝලනාත්මක ඉඩම් ගනුදෙනුවන් අනතුරුව සීගිරිය ප්‍රදේශයෙන් පමණක් මෙවැනි වංචාකාරී ඉඩම් පරිහරණයන්  250ක් පමණ ප්‍රමාණයක් ගැන තොරතුරු ලැබී ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ ලංකාසරට පැවසීය.

මේ ඉඩම් පරිභෝජනය කරන පිරිස් අතර දේශපාලකයන්, ඉහළ පෙළේ ව්‍යාපාරිකයන්,  ඇතුළු රටේ ප්‍රභූ යැයි හඳුනාගත් පිරිස් සිටින බව වාර්තා වේ.

මේ සම්බන්ධව අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා මෙසේ ද පැවසීය.


“   දැන්  මේ සිද්ධිය විතරක් ඉදිරියේ දී මතුවන්නේ නෑ.  මේ සිද්ධිය හරහා සීගිරියේ තවත් ඉඩම් කට්ටි 250ක් කොළඹ සහ ඒ තදාසන්න ප්‍රදේශවල  ධනවතුන් විසින් අයිති කරගෙන තියනවා. නමුත් ඒ නාමික අයිතිය දුප්පත් මනුෂ්‍යයා සතුව තිබිය දී.  ඒ ඉඩම්වල ඔවුන් නිවාඩු නිකේතන, අවන්හල්, විනෝදාස්වාදය පිණිස සරිලන ස්ථාන ඉදිකර හොඳ ආදායමක් ලබා ගන්නවා. දුප්පත් මනුස්සයට යන්නේ සොච්චමයි. ඒ මිනිස්සු දැඩි පීඩාවට පත්වෙලා ඉන්නෙ.“

මේ ඉඩම් කොල්ලය ගැන තොරතුරු විශාල ප්‍රමාණයක් මේ වනවිට ලැබෙමින් පවතිනවා. කූඨ ලේඛණ හදලා ඉඩම් අත්පත් කරගැනීම   වළක්වාගන්න  විශේෂ වැඩපිළිවෙළක්  ඇතිකර   මධ්‍යම පළාතෙන් රටට ආදර්ශයක් දිය යුතුයි    “   යැයි ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසීය.

ආණ්ඩුකාරවරයා   කීවේ මේ ඉඩම් කොල්ලය සිදුවන ඉඩකඩ සැලසෙන්නේ කොතැනින්දැයි අනිවාර්යයෙන්ම සොයන බවත්, එම ප්‍රශ්නය මේ අවස්ථාවේ දී විසඳුවේ නැතිනම් ඉදිරියේ දී තවදුරටත් තැලෙන්නේ අහිංසක දුප්පත් මිනිසුන් බවත්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපති තුමාට අවසානයේ යවන්නේ රජයේ ඉඩම්වල බලතල බෙදී ඇති කාරණාව පමණක් බව කී ආණ්ඩුකාරවරයා ඒ ඒ ප්‍රදේශවල ඉඩම්වල බලය පැවරී ඇති රාජ්‍ය නිලධරියාවන  ප්‍රාදේශීය ලේකම්වරු වගකීම් සහිතව කටයුතු කර නැති ආකාරය පෙනී යන බවත් තවම ස්ථිරව සනාථ වී නැති උක්ත සිදුවීමට අදාල නිශ්චිත නිගමනයකට අනිවාර්යයෙන් පැමිණෙන බවත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසීය.

 

Exit mobile version