ශ්‍රි ලංකාවේ ආනයන තහනම ගැන යුරෝපා සංගමය නොසතුට පළ කරයි

ඒකාබද්ධ ප්‍රකාශයට ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය සහ රුමේනියාවත් එක්වෙයි

වෙළෙඳාම යනු එක් දිශාවකට පමණක් ගමන් කරන්නක් නොවන බවත් ශ්‍රි ලංකාව විසින් පනවන ලද පවතින ආනයන සීමා හේතුවෙන් ශ්‍රී ලංකාවේ හා යුරෝපයේ ව්‍යාපාරවලට මෙන්ම ඍජු විදේශ ආයෝජන වෙත ද ඍණාත්මක බලපෑමක් සිදුව ඇති බවත් යුරෝපා සංගමය කොළඹ පිහිටි ප්‍රංශ,ඉතාලි, ජර්මන්, නෙදර්ලන්ත සහ රුමේනියානු තානාපති කාර්යාල සමඟ ඒකාබද්ද ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.

මෙම පියවර කලාපීය ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ ශ්‍රී ලංකාවේ අරමුණ සාක්ෂාත් කරගැනීමට ද එය බාධාවක් බවද පෙන්වා දෙන යුරෝපා සංගමය දිගින් දිගටම ආනයන සීමා පැනවීම, ලෝක වෙළෙඳ සංවිධානයේ නියාමනයන්ට අනුකූල නොවන බව ද අනාවරණය කරයි.

යුරෝපා සංගමය විසින් මේ සමබන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.


” පවතින කොවිඩ් 19 වසංගතය හමුවේ මතුව ඇති අභියෝග ගණනාවක් පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින්, යුරෝපා සංගමය හා එහි සාමාජික රටවල් නියෝජනය කරන තානාපතිවරුන් අංශ අවස්ථා ගණනාවකදී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ඉහළ පෙළේ පාර්ශ්ව රැසක් හමුවිය.

යුරෝපා සංගමය, දිගු කාලයක් පුරා ශ්‍රී ලංකාවේ විශ්වාසනීය මිතුරෙකු බවත් ගෙවුණු වසර 25ක කාලය පුරාවට යුරෝ බිලියනයකට වැඩි ආධාර ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර ඇති බවත් එහිදී අවධාරණය කෙරිණි. ඊට අමතරව යුරෝපා සංගමයේ සාමාජික රටවල් ද්විපාර්ශ්වික මට්ටමින් ද ශ්‍රී ලංකාවට විවිධ ආධාර ලබාදී තිබේ.

එම සැළකිය යුතු සංවර්ධන සහයෝගයට අමතරව ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු සඳහා ද සුවිශේෂී සහයෝගයක් ලබාදීමට යුරෝපා සංගමය ක්‍රියාකර ඇත. ප්‍රධාන වශයෙන්ම ජීඑස්පී ප්ලස් (GSP plus) පහසුකම හේතුකොටගෙන තීරු බදු සහ කෝටා ගාස්තු නොමැතිව යුරෝපා වෙළෙඳපොළට පිවිසීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබේ.

මෙය ශ්‍රී ලංකාව මානව හිමිකම්, ශ්‍රමය, පරිසරය, දේශගුණ විපර්යාස හා යහපාලනය සම්බන්ධයෙන් අන්තර්ජාතික සම්මුතීන් 27ක් අඛණ්ඩව පවත්වාගෙන යෑම පාදක කරගැනීමෙන් අත්කරගත් පහසුකමකි. මෙවැනි ඒකපාර්ශ්වික වෙළෙඳ වාසි නිසා ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම ජාත්‍යන්තර අපනයන වෙළෙඳපොළ බවට ද යුරෝපා සංගමය පත්ව සිටී.

2018 සහ 2019 යන වර්ෂ දෙකෙහිදී ම යුරෝපය හා ගනුදෙනු කිරීමෙන් යුරෝ බිලියනයකට (රුපියල් බිලියන 220කට) වැඩි ධනාත්මක වෙළෙඳ ශේෂයක් අත් කරගැනීමට ශ්‍රී ලංකාවට හැකිවීම ඒ බව මැනවින් තහවුරු කරයි.

කෙසේ නමුත් වෙළෙඳාම යනු එක් දිශාවකට පමණක් ගමන් කරන්නක් නොවේ. වර්තමානයේදී පවතින ආනයන සීමා හේතුවෙන් ශ්‍රී ලංකාවේ හා යුරෝපයේ ව්‍යාපාරවලට මෙන්ම ඍජු විදේශ ආයෝජන වෙත ද ඍණාත්මක බලපෑමක් සිදුව තිබේ. කලාපීය ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ ශ්‍රී ලංකාවේ අරමුණ සාක්ෂාත් කරගැනීමට ද එය බාධාවකි.

එමෙන්ම අමුද්‍රව්‍ය හා යන්ත්‍රසූත්‍ර ආනයනයට බාධා මතුවීම තුළ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට ද අහිතකර බලපෑමක් එල්ල වේ. තව ද දිගින් දිගටම ආනයන සීමා පැණවීම, ලෝක වෙළෙඳ සංවිධානයේ නියාමනයන්ට අනුකූල නොවන බව ද මෙහිදී සිහිපත් කිරීමට කැමැත්තෙමු.

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවට සහාය දැක්වීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණය ද අවධානයට යොමුව තිබේ. ශ්‍රී ලංකාවේ විවිධ ජනවර්ග අතර සංහිඳියාව, සාධාරණත්වය හා සාමකාමී පැවැත්ම උදෙසා අඛණ්ඩව කැපවන බවට ශ්‍රී ලංකාව රජය ප්‍රකාශ කර තිබේ. ඒ බව යුරෝපා සංගමය වෙත ද ශ්‍රී ලංකාව තහවුරු කර ඇත. රජය ඒ වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා සහාය දැක්වීමට ද යුරෝපා සංගමය නිරතුරුව සූදානමින් සිටී. විශේෂයෙන් ම නීතියේ ආධිපත්‍ය හා ක්‍රියාශීලී සිවිල් සමාජයක් පවත්වාගැනීම එහිලා අත්‍යවශ්‍ය වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අවසාන වශයෙන්, අපගේ ජාත්‍යන්තර බැඳියාවන් හා අනුගත වෙමින් ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් ශක්තිමත් සබඳතාවක් පවත්වාගැනීමට අපේක්ෂා කරන බව අපි මෙසේ නිවේදනය කරන්නෙමු.”

Exit mobile version