ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇතිවන අහිතකර බලපෑම් අවම කිරීම සහ නාවික ගමනාගමනය සඳහා පැවතිය යුතු නිදහස ආරක්ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව රතු මුහුදේ ආරක්ෂක මෙහෙයුම්වලට සම්බන්ධ වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැද පෙරදිග රටවල් 10 ක තානාපතිවරුන් සමග ඊයේ (11) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී එම තානාපතිවරුන්ට දැනුම් දුන්නේය.
බටහිර රටවල් සමඟ පවතින සබඳතාවලට අමතරව ආසියාව, බටහිර ආසියාව, අප්‍රිකාව සහ මැදපෙරදිග යන කලාප සමඟ ද පවතින සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව අවධාරණය කළ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව අනුගමනය කරන පුළුල් විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධව තානාපතිවරුන් වෙත කරුණු පැහැදිළි කළේය.
පලස්තීනය සඳහා වන ද්විත්ව රාජ්‍ය සංකල්පය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බවත් ස්ථීර සහ ක්‍රියාකාරී පලස්තීන රජයක් පිහිටුවීම වෙනුවෙන් පෙනී සිටින අතරම බටහිර ඉවුරේ (West Bank) සිටින පදිංචිකරුවන් ඉවත් කිරීමට බලධාරීන් තීරණාත්මක පියවර ගැනීමේ අවශ්‍යතාවයක් ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී අවධාරණය කළේය.
එක් රාජ්‍යයක් පිහිටුවීම මගින් ද්විත්ව රාජ්‍ය විසඳුමක් ලබා දිය නොහැකි බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. හමාස් සංවිධානයේ ත්‍රස්තවාදී ප්‍රහාර මෙන්ම ගාසා තීරයට දිගින් දිගටම බෝම්බ හෙලීම සාධාරණීකරණය නොකළ යුතු බව තරයේ ප්‍රකාශ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ සඳහා සාමකාමී යෝජනාවක් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව පැවසීය.
මීට අමතරව, ගාසා තීරය වෙත ශ්‍රී ලංකාවද මානුෂීය ආධාර සැපයීමට කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගාසා තීරය වෙත මානුෂීය අධාර සැපයීම් අඛණ්ඩව සිදු කරන ලෙස ද ඉල්ලා සිටියේය.
පලස්තීන ජනතාව මුහුණ දී සිටින දුක්ඛිත තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නොසැලෙන කැපවීම පෙන්නුම් කරමින් සටන් විරාමයක් ඇතිකරගන්නා ලෙස ද ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.
පලස්තීනය සහ ගාසා තීරය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දක්වන ස්ථාවර සහයෝගය වෙනුවෙන් මැදපෙරදිග රටවල් නියෝජනය කරමින් සහභාගී වූ තානාපතිවරු එහිදී සිය ස්තූතිය පළ කළහ.
මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපතිවරයා ප්රමුඛ, ඊජිප්තුව, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ලිබියාව, ඉරානය, කුවේට්, සෞදි අරාබිය, ඕමානය සහ ඉරාකය යන රටවල තානාපතිවරුන් එක්ව සිටියහ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනාධිපතිවරයා සමග විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යායේ ලේකම් අරුණි විජේවර්ධන, ජනාධිපති විදේශ සබඳතා අධ්යක්ෂ දිනුක් කොළඹගේ සහ ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක සහභාගී වූහ.