ශ්‍රි ලංකා රජය චීන නැවට දන්වන තෙක් එන්න එපා කියයි!

චීන මහජන විප්ලවකාරී  හමුදාවට  අයත් චන්ද්‍රකා හඳුනා ගැනීමේ තාක්ෂණය සහිත යුවාන් වෑන්ග් 5 නම් අධි තාක්ෂණික නෞකාව නියමිත පරිදි  ශ්‍රි ලංකා සීමාවට ඇතුළු කිරීමෙන් තාවකාලික ව වළකින ලෙස ශ්‍රි ලංකා රජය චීනයෙන් ඉල්ලීමක්  කර ඇති බව වාර්තා වේ.

පවතින ඉන්දීය විරෝධතා සැලකිල්ලට ගනිමින් මෙම ඉල්ලීම සිදු කොට ඇති අතර මේ සම්බන්ධයෙන් තවමත් චීනය පාර්ශ්වයෙන් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

යුවාන් වෑන්ග් 05 නෞකාව අගොස්තු මස 11 වැනිදා හම්බන්තොට වරායට පැමිණීමට නියමිත ව තිබූ අතර  එය ඉන්ධන පිරවීම, විවේකය ඇතුළු නිශ්කාෂණ කටයුතු සඳහා අගෝස්තු මස 17 වැනිදා දක්වා හම්බන්තොට වරායේ රැදී සිටීමට නියමිතව තිබුණි. ඒ සඳහා ශ්‍රි ලංකා රජයේ අවසරයද ලැබී තිබිණි.

චීන මහජන විප්ලවකාරී හමුදාවට අයත් චන්ද්‍රිකා , මහද්වීපික බැලස්ටික් මිසයිල හඳුනාත හැකි අධි තාක්ෂණික නැව් පන්තියෙන් එකක් වන මෙම නෞකාව ශ්‍රි ලංකාවට පැමිණීම පිළිබඳව ඉන්දීය රජය දැඩි විරෝධයක් දක්වා තිබූ අතර මෙරට රාජ්‍ය තන්ත්‍රයේ ඉහළම අය වෙතද වාචිකව විරෝධය එල්ල කර තිබුණි.


එකවර කිලෝ මීටර 750ක පමණ වපසරියක් නිරීක්ෂණය කිරීමේ පහසුකම් සහිත මෙම නැව විශේෂයෙන් ඉන්දීය අභ්‍යන්තරිත ආරක්ෂාවට තර්ජනයක් බවට ඉන්දීය විශේෂඥයින් මෙන්ම එරට  රජයේ ඉහළ පෙළේ නිලධාරීන්ද මත පළ කර තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ තත්ත්වය තුළ  ශ්‍රි ලංකා රජය දැනුම් දී ඇත්තේ නෞකාව ඇතුළු කිරීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජයෙන් උපදෙස් ලැබෙන තෙක් රට තුළට  ඇතුළු කිරීමෙන් වලකින ලෙසය.

 

Exit mobile version