වී කිලෝ 5500ක් ගත්ත කුඹුරේ අස්වැන්න කිලෝ 850යි… ගොවි ජීවිත බිලි දී කළ කාබනික පරීක්ෂණයේ ප්‍රතිඵල එයි…

අවුරුද්දට කිරිබත් ටිකකට වී නැති වූ වී ගොවීන්ගේ කතාව...

මනම්පිටිය නිමල් ජයරත්න –

කාබනික පොහොර භාවිතයෙන් කළ වගාව නිසා මෙවර මහ කන්නයේ සිදුවූ බරපතල පාඩුව මේ වනවිට අස්වනු නෙලමින් සිටින     පොලොන්නරුව වැලිකන්ද කුරුළුබැද්ද සහ මහසෙන්පුර ගොවීහු ඇස්පනා පිට පෙන්වා දෙති.

මීට පෙර කන්නවලදී රසායනික පොහොර යොදා සිදුකරන ලද වී වගාවෙන් අක්කර දෙකහමාරක කුඹුරකින් තමන්ට වී කිලෝ   5500 ක් සහ 6000 ත් ලබා ගත්තද, මෙවර කාබනික පොහොර භාවිතයෙන් වී වගා  කරන ලද අක්කර දෙකහමාරක කුඹුරකින් තමන්ට ලබාගත හැකිව තිබෙන්නේ වී කිලෝ  1000කට අඩු ප්‍රමාණයක් බව ද එම ප්‍රදේශවල  ගොවීහු සඳහන් කරති.

මෙම තත්වය යටතේ ලබාගත් වී අස්වනු අලෙවි කිරීමෙන් අනතුරුව ලබන මුදල යන්ත්‍ර සූත්‍ර කුලිය ලබාදීමටවත්   ප්‍රමාණවත් නොවන බව ද  ගොවීහු පෙන්වා දෙති.


මෙවර මහ කන්නයේ වැලිකන්ද  නවමහසෙන්පුර ප්‍රදේශ්යේ වී අස්වනු නෙලූ ගොවි මහතකු වන ශානක මහේෂ් ධර්මසේන   තමන්ට සිදුව ඇති අලාභය පිළිබඳ මෙලෙස අදහස් දැක්වීය.

“  මම මේ සැරේ නැනෝ නයිටට්‍රිජන් සහ කාබනික පොහොර  දාලා තමයි වී වගා කෙළේ. මම මේ  කුඹුරෙන් ගිය කන්නේ  වී කිලෝ 5500 ක් විතර ගත්තා. මේ සැරේ කිලෝ 850ක්  විතර තමයි මට ගන්න ලැබුණේ.   කුඹුර වගා කරන්න රුපියල් ලක්ෂ එකහමාරක්  දෙකක් විතර වියදම් ගියා, යන්ත්‍ර සූත්‍ර  වලට රුපියල් පනස් දාහක් විතර දැන් දෙන්ඩ වෙලා තියෙනවා. අපි මේවා කළේ ණය වෙලා. නමුත් දැන් මේ සැරේ අපිට ණය ගෙවා ගන්න විදිහක් නෑ. දරුවන්ට අවුරුද්දට ඇඳුමක් පැළඳුමක් තියා කිරිබත් ටිකක් වත් කන්ඩ දෙන්න විදිහක් නැති පාටයි පෙනෙන්නේ.“

“වැලිකන්ද නාගස්තැන්න. කුරුලු බැද්ද. කෙත් යායේ අක්කර එක් එක්දහස් 1500ක් පමණ වී වගා කරලා තිබෙනවා.  මේ හැම කුඹුරකින්ම ගන්න වෙන්නේ වී කිලෝ 1000 කට අඩු ප්‍රමාණයක්. ගොවීන්ට මෙදා යන එන මං නෑ. අපි රජයෙන් ඉල්ලන්නේ අක්කරයකට රුපියල් ලක්ෂයක් වත් වන්දි ගෙවන්න කියලා. ඒ වගේම ඉදිරි යල කන්නයටවත් රසායනික පොහොර අපිට වී වගා කරන්න ලබා දෙන්නයි කියලා රජයට බල කරනවා. එහෙම නොවුණොත් අපි වී වගාවෙන් ඉවත් වෙනවා.“  ශානක මහේෂ් ධර්මසේන වැඩිදුරටත් කීවේය,

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ප්‍රදේශ්යේ වී අස්වනු නෙලන අනෙකුත් ගොවීන් සඳහන් කරන්නේ තමන්ට සිදුව ඇති පාඩුවට ඉතා ඉක්මනින් වන්දි මුදල් ලබා දීමට කටයුතු කරන ලෙසත්,  එළඹෙන යල කන්නයේ වී වගා කිරීමට තමන්ට  රසායනික පොහොර ලබා නොදුනහොත් වී වගාවෙන් ඉවත් වෙන බවයි.

 

Exit mobile version