විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී විෂය නිර්දේශ ගැටලුව ගැන ඇමති වාර්තාවක් කැඳවයි

වසර 05කට වරක් සිදුවන විෂය නිර්දේශ වෙනස් වීම හේතු කොටගෙන උසස් පෙළ පැරණි නිර්දේශය සහ නව නිර්දේශය ලෙස කණ්ඩායම් දෙකක් විශ්ව විද්‍යාලවලට තෝරා ගැනීමේදී සිදුවී ඇති ගැටලුව සම්බන්ධයෙන් විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් වාර්තාවක් කැදවා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.ඇල් පීරිස් මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණෙහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්දී මේ පිළිබදව කරුණු විමසූ අවස්ථාවේදී අමැතිවරයා මේ බව පැවසීය.

වසර 05කට වරක් විෂය නිර්දේශ වෙනස්වීම හේතුකොට ගෙන මෙවර උසස් පෙළ විභාගයට පළමුවර ලිවීමේ කණ්ඩායම සහ දෙවන වර ලිවීමේ කණ්ඩායම ලෙස තෝරා ගැනීම සිදුවේ.


මෙහිදී 2019 වසරේදී පළමු වරට උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට බලවත් අසාධාරණයකට මුහුණදීමට සිදුව ඇති බව අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

‘දැන් මේ පිළිබදව අධිකරණයෙත් නඩුවක් විභාග වෙමින් තිබෙනවා. එහිදී කරුණු කිහිපයක් මතුවී තියෙනවා .උදාහරණයක් ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් දෙවැනි වර ලියන ළමයි 98ක් හා පළමුවර ලියන ළමයි 34 ක් වෛද්‍ය විද්‍යාලය සදහා තෝරා ගැනෙනවා . මෙහිදී පළමුවරට උසස් පෙළ විභාගයට පෙනී සිට ඉහළ සාමාර්ථ ලබාගත් ළමුන් තමන් වෛද්‍ය විද්‍යාලය සදහා තේරෙයි කියන විශ්වාසයෙන් දෙවන වරට උසස් පෙළ විභාගයට අයදුම් කරෙත් නැහැ.වෙනත් පාඨමාලාවන් ඉල්ලුම් කරෙත් නැහැ’’ යැයි දිසානායක මහතා පැවසීය.

උදාහණයක් ලෙස මෙවර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පළමු වර කණ්ඩායමෙන් ජීව විද්‍යා අංශයෙන් 37 වැනි තැනට තේරුනු දරුවා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඉහළින්ම ‍තේරීපත් වුවත් වෛද්‍ය විද්‍යාලයට ප්‍රවේශ විය හැකි යයි සිතා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ‍නොයා ඉන්නවා. දෙවැනි වර විභාගයට අයදුම් කරෙත් නෑ. නමුත් පළමුවර ලියන ළමයි 34 දෙනෙක් පමණයි වෛද්‍ය විද්‍යාලය සදහා තෝරා ගැනෙන්නේ. ඇතැම් ළමුන් ඉහළ සාමාර්ථ ලබා ගත් නිසා වෛද්‍ය විද්‍යාලය පමණයි අයදුම් කර තිබෙන්නේ.මේ නිසා එම ළමුන් කිසිදු පාඨමාලාවකට සහභාගීවීමට නොහැකිව දැඩි මානසික පීඩනයට ලක්ව සිටිනවා. මෙහිදී පළමුවර ලිවීමේ කණ්ඩායමට විශාල අසාධාරණයක් සිදු වී ඇති බව පැහැදිළියි.මේ නිසා මේ සදහා මැදිහත්වීමක් අවශ්‍යයි’’යැයි ද ඒ මහතා සදහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙහිදී අදහස් දැක්වු අධ්‍යාපන අමාත්‍ය වරයා පැවසුවේ මේ සම්බන්ධව 2012 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවක් සහ නිර්දේශ පවතින බවත් මේ අනුව මෙම ගැටලුව සම්බන්ධව කඩිනමින් විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් වාර්තාවක් කැදවන බවයි.

Exit mobile version