අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද (21) අධිකරණය හමුවේ පෙනී සිට ඇත.
විමල් වීරවංශ මන්ත්‍රීවරයා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා පසුගිය 19 වනදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය.
නඩුවේ තවත් විත්තිකරුවකු වන වීරකුමාර දිසානායකද එදින අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් නීතිඥවරයා විසින් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය. සෙසු විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසම්මිල්, ජයන්ත සමරවීර, මෙන්ම එවකට ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කළ රොජර් සෙනෙවිරත්න සහ පියසිරි විජේනායක යන විත්තිකරුවන් එදින අධිකරණයේ පෙනී සිටියහ.
2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදුකළේ යැයි ඔහු චෝදනා මත මෙම නඩුව ගොනු කර ඇත.