විමලවීර දිසානායකගෙන් වර්ජනය කරන වනජීවී නිලධාරීන්ට අභියෝගයක් !

වනජීවී නිලධාරීන් කුමන වර්ජනයක් දියත් කළත් යක්කුරේ සහ ඒ අවට ගම්මානවල ජීවත් වන අහිංසක ජනතාව වෙනුවෙන් තමා ගෙන යන වැඩපිළිවෙළ නතර නොකරන බව වනජීවී රාජ්‍ය ඇමති විමලවීර දිසානායක  ලංකාසරට පැවසීය.

පොළොන්නරුව ජල ගැලුම් නිම්න රක්ෂිතය මැදින් ඉදිකොට ඇති මාර්ගය විවෘත කිරීම හා රක්ෂිතවල ගවයින් ගාල් කිරීම වැනි වැඩකටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට ඇමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කරන බැවින් ඊට විරෝධය සමස්ත ලංකා වනජීවී නිලධාරීන්ගේ සංගමය අද දියත් කරන සංකේත වර්ජනය සම්බන්ධව ලංකාසර කළ විමසුමකට පිළිතුරු දෙමින් මේ බව අනාවරණය කළ විමලවීර දිසානායක   වනජීවි නිලධාරින්ගෙන් 80%ක් වැඩ වර්ජනයට එක් නොවන බව පැවසීය.

වනජීවී නිලධාරීන් සුළු පිරිසක් ඇතැම් අයගේ උසි ගැන්වීමට වර්ජනය කලත් වසා දමා ඇති මාර්ගය තවමත් තම පන්තිය නියෝජනය කරන ජනතාව වෙනුවෙන් විවෘත කර දෙන බවත් ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ වාර්තාව ලබාගැනීමට මේ වන විට පියවර ගෙන ඇති බවත් හෙතෙම සඳහන් කළේය.


ඇමතිකමට හා තනතුරු තාන්නමාන්නවලට වඩා තම පංතිය නියෝජනය කරන අහිංසක ජනතාව තමන්ට වටිනා බව කී ඇමැතිවරයා ඒ ජනතාව ඉල්ලා සිටින්නෙ පා ගමනින් යෑම සඳහා ජලගැලුම් නිම්නය හරහා වැටී ඇති කෙටි මාර්ගය විවෘත කර දෙන ලෙස බව පැවසීය.

මෙම මාර්ගය තාර දැමීම කාපට් කිරීම කෝ කොන්ක්‍රීට් කිරීම වැනි කටයුතු සිදුනොකර වැලිපාර ලෙස තබාගෙන ජනතාවට පා ගමනින් යෑමට අවශ්‍ය අවකාශය සලසා දිය යුතු බවත් එවැනි දෙයක් හෝ ඉටුකර දීමට නොහැකි නම් තම ඇමැතිකමින් ඵලක් නැති බවත් විමලවීර දිසානායක මහතා අවධාරණය කරයි.

මෙරට රක්ෂිත වනාන්තර බැගින් මාර්ග විශාල ප්‍රමාණයක් ඉදිකර තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා උඩවලව රක්ෂිතය මැදින් ප්‍රධාන මාර්ග හැරුණු කොට රක්ෂිතය ඇතුලේ කුඩා මාර්ග රැසක් තිබෙන බවත් ඒ මාර්ගවල දිනකට ජීප් රථ 600ක් 700ක් ධාවනය කරන බවත් සඳහන් කළේය.

යක්කුරේ සහ අවට ජනතාව වෙනුවෙන් වැලිපාර නැවත විවෘත කර දිය නොහැකි නම් රක්ෂිත මැදින් ඉදිකර ඇති අනෙකුත් සියලු මාර්ග වසා දැමිය යුතු බව තම ස්ථාවරය බවද ඒ මහතා සඳහන් කරයි.

රක්ෂිතවලට ගවයින් ගාල් කරනවා නම් එය නැවත්වීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වනජීවී නිලධාරීන් සිදු කළ යුතු වුවත් ඔවුන් එවැන්නක් සිදු නොකොට එය තමන් පිට පැටවීම අසාධාරණ ක්‍රියාවක් බවද ඒ මහතා පෙන්වා දුන්නේ ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට ඉහත දී වනජීවී ඇමතිකම් දැරූ ඇමතිවරු කිහිප දෙනෙක් සමගම වර්ජනයට එක්වන අතලොස්සක් වැනි වනජීවී නිලධාරීන් පිරිස විවිධ ගැටුම් ඇති කරගත් බවත් ඔවුන්ගේ අයුතු අවශ්‍යතා වෙනුවෙන් තමා කිසි විටෙකත් පෙනී නොසිටින බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version