අසේල කුරුළුවංශ
විධායක බලය තිබෙන ජනාධිපති ධුරය හා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබෙන නිසා ඕනෑම දෙයක් කළ හැකි යැයි කියන මනෝභාවයකින් ආණ්ඩුවකට ඉදිරි ගමක් යා නොහැකි බව ජනපති අනුර කුමාර දිසානායක පවසයි. ආණ්ඩුවක් මුළු සමාජයකම විවිධ පැතිකඩයන්ගේ නියෝජනයක් විය යුතු යැයි ඔහු කියයි.
සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අභිනව අනුනායක පූජ්‍ය නාරන්පනාවේ ආනන්ද නාහිමියන් වෙත අනුනායක පදවියට අදාළ ශ්‍රී සන්නස් පත්‍රය ජනපතිවරයා අතින් පිළිගැන්වීම නිමිත්තෙන් අද (03) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික මගුල් මඩුවේ දී පැවැති රාජ්‍ය උත්සවයේ දී ජනපතිවරයා මේ බව පැවසුවේය.ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමෙන් අනතුරුව රාජ්‍ය උත්සවය අමතමින් ජනපතිවරයා මෙසේද ප්‍රකාශ කළේය.
මහනායක හිමිවරු හමුවෙලා අද සාකච්ඡා කළා. උන්වහන්සේ සිව් නම මට ලිඛිත ප්‍රකාශක් යොමු කළා. අපේ රටේ හා සමාජයේ ඕනෑම කැළඹීමක් ඇතිවන වෙලාවක අපේ මහානයක හිමිවරු සක්‍රීයව එයට මැදිහත් වෙලා අනුශාසනා ලබාදීම මේනම මග පෙන්වීම කරනවා.ඒක සමාජයට අවශ්‍යයි. විධායක බලය තිබෙන ජනාධිපති ධුරය හා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබෙන නිසා ඕනෑම දෙයක් කළ හැකියි කියන මනෝභාවයකින් ආණ්ඩුවකට යන්න බැහැ. ආණ්ඩුවක් මුළු සමාජයකම විවිධ පැතිකඩයන්ගේ නියෝජනයක් විය යුතුයි.
ජනපති ලෙස මම දන්නවා මට තිබෙන සීමාවන් මොනවද කියලා. සමාන්‍යයෙන් බොහෝ අය හිතාගෙන හිටියා මේකට සීමාවන් නැහැ කියලා. ඇත්තටම ව්‍යස්ථාවේ සීමාවන් නැහැ. ඕනෑම වැරදි කරුවෙක් නිදහස් කරන්න පුළුවන්.ඒ සඳහා ව්‍යවස්ථාවේ සීමාවන් නැහැ. ඕන තරම් රජ්‍ය ධනය වියදම් කරන්න පුළුවන්. ඕන තරම් මාලිගා හදන්න පුළුවන්. ඒවට ව්‍යවස්ථාවේ සීමා නැහැ. ඕන තරම් සම්බන්ධීකරණ ලේකම් වරු පුද්ගලික කාර්ය මණ්ඩල පත්කර ගන්න පුළුවන්.
විධායක ජනපතිවරයාට සීමාවන් නැති වුණාට අපිට සීමාවක් තිබුණා. ඒ නිසා අපි සමහර සීමාවන් ප්‍රායෝගිකව ඔප්පු කරන්න කටයුතු කළා. සමහර ඒවා නීතියෙන් සීමා කරන්න කටයුතු කළා. මේ තමයි ඔබට තිබෙන සීමාව කියලා. ආණ්ඩුවක් තුළ සීමා රහිතව තමන්ට හිතු හිතු දේ කරන්න බැහැ.
අපේ ඓතිහාසික උරුමයන් සහිතව නායක හිමිවරුන්ගේ උපදෙස් ඔවදන් ඉතිහාසයේ පුරාවටම රාජ්‍යත්වය ගොඩනැගීම සඳහා මැදිහත්ව තිබෙනවා.රාජ්‍ය තර්ජනයට ලක් වූ අවස්ථාවල ආරක්ෂාව වෙනුවෙන් මැදිහත් ව තිබෙනවා. එවැනි භික්ෂු උරුමයක් තිබෙනවා ඒ උරුමය ඒ විදිහටම පිළිගන්න අපි ලෑස්තියි.
අපේ රටේ එක පැත්තකින් ව්‍යවස්ථාවෙන් පිහිටුවන ලද ආණ්ඩුවක් තිබෙනවා. අනෙක් පැත්තනේ එතරම් බලවත් නොවුණත් මතුපිට ආණ්ඩුවේ සියලු අංගෝපාංග සහිත කළු පාලනයකුත් රට තුළ ක්‍රියාත්මකයි. රටේ නීත්‍යානුකුල පොලීසියක් තිබෙනවා. කළු පාලනය නියෝනය කරන පොලීසියේ පිරිසකුත් ඉන්නවා. නිත්‍යානුකූල මෝටර් රථ ලියාපදංචි කිරීමේ දෙපාර්තෙමේන්තුවක් තිබෙනවා. ඒ වගේම කළු අයටත් එහෙම එකක් තියෙනවා. නීත්‍යානුකූල ආගමන විගමන දෙපාර්තමේන්තුවක් තිබෙනවා. කළු අයටත් ඒකක් තියෙනවා. රේගු දෙපාර්තමේන්තුවක් නිත්‍යානුකූලව ක්‍රියාත්මක වෙත් දී කළු අයටත් එහෙම එකක් තියෙනවා. නිත්‍යානුකූල දේශාපලන අධිකාරියක් රටේ තියෙනවා. කළු අයටත් එහෙම එකක් තියෙනවා.
දැන් අපි ඉන්නේ මේ ද්විත්ව ආණ්ඩුකරණයේ. එකක් ජනතාව විසින් තෝරාපත් කර ගන්නා ලද ආණ්ඩුව. අනෙක කළු ධනය හා අවි බලය විසින් නිර්මාණය කරන ලද කළු පාලනය. මේ දෙකෙන් කෝකද පැවැතිය යුත්තේ කියලා තීරණයක් ගත යුතුයි. එක්කෝ ඕන දෙයක් සිදුවුණු දෙන් කියා කළු පාලනයත් තියාගෙන අපේ පාලනයත් ගෙන යන්න ඕන. නැත්නම් ව්‍යවස්ථානුකූල පාලනය අත්හැරලා අපි කවුරුත් කළු පාලනයට යන්න ඕන. එහෙමත් නැත්නම් නිත්‍යානුකූල පාලනයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් කළු පාලනය අවසන් කළ යුුතුයි. අපේ ආණ්ඩුව තෝරා ගත්තේ ඒකයි.
නිත්‍යානුකූල ව්‍යවස්ථානුකූල පාලනයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් කළු පාලනය අපි අවසන් කරනවා. ඒ සඳහා තබන ලද පියවර කිසිසේත්ම ආපසු නොහරවන බව මම මහා සංඝරත්නයට සපථ කර ප්‍රකාශ කරනවා.







