විදේශ ඇමති ජී.එල්. මානව හිමිකම් සැසිය අමතයි – මිචෙල්ගේ යෝජනාවට බෑ කියයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46/1 යෝජනාව මඟින් ස්ථාපිත කරන ලද බාහිර මූලාරම්භයන් සඳහා වූ යෝජනාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා එම සැසිය අමතමින් අද පැවැසීය.

එම යෝජනාවේ අදාළ කරුණු පිළිබඳව දේශීය ක්‍රියාදාමයන් වෙත අවධානය යොමු කරන බව දැනුම් දෙන බව ද ඇමතිවරයා කියාසිටියේ මේ වනවිට ස්විස්ටර්ලන්තයේ ජිනීවාහිදී පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි නිත්‍ය සැසියේදී මානව හිමිකම් කොමසාරිස්තුමිය විසින් ශ්‍රී ලංකාව පිළිබඳ වාචික යාවත්කාලීන කිරීමට අදාළව ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය ඉදිරිපත් කරමිනි.

විදේශ කටයුතු අමාත්‍යවරයා එම සැසිය අමතා කළ මුළු ප්‍රකාශය පහත දැක්වේ.


සභාපතිතුමියනි,

අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ අප විසින් ස්වේච්ඡාවෙන් භාර ගන්නා ලද ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව, මෙම කවුන්සිලය සහ එක්සත් ජාතීන් විසින් නියම කරන ලද මානව හිමිකම් පද්ධතිය සමඟ අපගේ ශක්තිමත් හා අඛණ්ඩ සහයෝගීතාව පිළිබඳව අවධාරණය කරමින් මම ආරම්භ කරමි.

වසර 12 කට පෙර, ශ්‍රී ලංකාව විසින් එල්ටීටීඊ ත්‍රස්තවාදය එහි භූමියෙන් තුරන් කරන ලදී. අපි අපගේ ජනතාවගේ යහපත උදෙසා සාමය, ආරක්‍ෂාව සහ ස්ථාවරභාවය යළි ස්ථාපිත කොට ඇත්තෙමු. අපි අපගේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයන් ශක්තිමත් ලෙස රඳවාගෙන සිටි අතර, මෑතක දී පැවති 2019 ජනාධිපතිවරණය සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණය ඇතුළුව, විධිමත් කාල පරිච්ඡේදවල දී ඉහළ මට්ටමක ඡන්ද දායකයින්ගේ සහභාගීත්වයෙන් යුතුව මැතිවරණ පැවැත්විණි. පළාත් සභා මැතිවරණ ද හැකි ඉක්මනින් පැවැත්වීම සඳහා රජය කැපවී සිටී.

අපි පශ්චාත්-ගැටුම් තත්ත්වයක් තුළ සුවය ලැබීමේ දෘෂ්ඨි කෝණයෙන් යථා තත්ත්වයට පත් වීම සඳහා කටයුතු කරමින් සිටිමු. ඉතා මෑතක දී, බරපතල ත්‍රස්තවාදී අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වූ LTTE සාමාජිකයින් 16 දෙනෙකුට ජනාධිපති සමාව ලබා දෙන ලදී. ගැටුම්වලින් අනතුරුව බිම්බෝම්බ ඉවත් කිරීම, ප්‍රතිසංස්කරණය හා නැවත පදිංචි කිරීමේ වැඩසටහන්වල සාර්ථකත්වය මඟින්, ජාතික සංහිඳියාව සඳහා අතිමහත් දායකත්වයක් ලබා දී ඇත.

විනාශකාරී කොවිඩ්-19 වසංගතයේ දෛනික අභියෝග මධ්‍යයේ වුවද, දේශීය ක්‍රියාවලිවල ප්‍රගතිය ඉස්මතු කර දැක්වීමට මට අවසර දෙන්න:

සභාපතිතුමියනි,

සෑම අතින්ම නිසි නීති ක්‍රියාවලියට අනුකූල වෙමින්, ශ්‍රී ලංකාව 2019 පාස්කු ඉරුදින එල්ල වූ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයේ අපරාධකරුවන් පිළිබඳව අඛණ්ඩව සොයා බලා නඩු පවරමින් සිටී. සැම විටම සිදු කරන පරිදි, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ දී සහ සෑම ආගමකටම අයත් ශ්‍රී ලාංකිකයින් ආරක්ෂා කිරීමේ දී අපි සුපරීක්ෂාකාරීව සිටින්නෙමු.

සභාපතිතුමියනි,

දේශීය ක්‍රියාවලීන් මඟින් අදාළ කාරණා පිළිබඳව ශක්තිමත් ලෙස කටයුතු කරන අතර, 46/1 යෝජනාව මඟින් පිහිටුවන ලදැයි කියනු ලබන බාහිර ක්‍රියාමාර්ග සඳහා වන යෝජනාව අපි ප්‍රතික්ෂේප කරමු. 30/1 යෝජනාව සමඟ අප විසින් අත්විඳ ඇති පරිදි, මෙය මඟින් අපගේ සමාජය ධ්‍රැවීකරණය වනු ඇත. මෙම සභාව විසින් එහි මූලාරම්භක මූලධර්ම පිළිපැදිය යුතුව ඇත. අදාළ රටේ සහයෝගය නොමැතිව ආරම්භ කරන ලද බාහිර මුලපිරීම්වලට ඒවායෙහි ප්‍රකාශිත ඉලක්ක සපුරා ගත නොහැකි වන අතර, ඒවා දේශපාලනීකරණයට යටත් වනු ඇත. විශේෂයෙන් ඒවා ලෝකයේ බොහෝ ප්‍රදේශවල මානුෂීය හා වෙනත් සාධනීය අරමුණු සඳහා හදිසි අවශ්‍යතාවයන්ව පැවතිය දී, මෙම මුලපිරීම සඳහා සම්පත් වැය කිරීම අනවශ්‍ය කටයුත්තකි.

සභාපතිතුමියනි,

වර්තමාන කොවිඩ්-19 වසංගතයේ දැඩි අභියෝග යටතේ, ප්‍රජාවගේ ජීවිතය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව සැපයීම සහතික කිරීම රජයක මූලික යුතුකමක් ලෙස අපි සලකමු. අපි අපගේ අභියෝග විවෘතව පිළිගන්නා අතර, වගකිව යුතු ප්‍රජාතන්ත්‍රවාදී රජයක් ලෙස වගවීම, සංහිඳියාව , මානව හිමිකම්, සාමය සහ තිරසාර සංවර්ධනය යන කරුණු සම්බන්ධ සමස්ත පරාසයකම ස්පෘශ්‍ය ප්‍රගතියක් ලබා ගැනීම සඳහා අපි කැපවී සිටින්නෙමු.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සභාපතිතුමියනි, මම ඔබට ස්තූතිවන්ත වෙමි.

Exit mobile version