මහා දාගැබ් පිළිම අනාගතයට උරුම කර දුන් විශ්වකර්ම විද්වතා නික්ම යයි

විද්‍යාජෝති ගැමුණු සිල්වා හදිසියේ අභාවප්‍රාප්ත වෙයි...

Gemunu-Silva

විද්‍යාජෝති ගැමුණු සිල්වා

ලංකාවේ විශිෂ්ටම විද්වතෙක් වාස්තු විද්‍යාඥයෙක් ඉංජිනේරුවෙක් වූ ආචාර්ය ගැමුණු සිල්වා අද (02)  අලුයම අප අතරින් වෙන් වී ගොස්ය. හදිසි හෘදායාබාධය තත්වයක්  නිසා ඊයේ (01) රෝහල්ගත කළ එතුමා  මිය යන විට 78වන වියේ පසුවිය.

යාන්ත්‍රික ඉංජිනේරුවක් ලෙස වෘත්තීය ජීවිතය තෝරාගන්නා මේ විශිෂ්ට විද්වතාගේ නව දෘෂ්ඨි සංකල්ප පුරාවිද්‍යා කේෂේත්‍රයට ගෙන දුන් ආලෝකය නොදන්නෙක් නොවෙති. මාලිගාවිල බුදු පිළිමය, පුපුරා හැලෙන්නට ගිය තිස්සමහාරාම දාගැබ, මිරිසවැටිය දාගැබ, මෙන්ම ගල් විහාර ප්‍රතිමා වහන්සේ ලා අද මේ අයුරින් සුරක්ෂිත ඇත්තේ එතුමාගේ විද්‍යාත්මක මැදිහත්වීම්හි ප්‍රතිඵලයක් ලෙසය.

ආචාර්ය ගැමුණු සිල්වා සම්බන්ධව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ සංරක්ෂණ අධ්‍යක්ෂ වරලත් වාස්තු විද්‍යාඥ ප්‍රසන්න රත්නායකයන් සිය ෆේස් බුක් පිටුවේ තැබූ සංවේදී සටහන උපුටා පල කරමු. ඒ මේ විශිෂ්ට විද්වතා කවරෙක් ද යන්න පිළිබඳ වූ මනා රූප සංකලනයක් ඒ සටහනේ ගැබ් වී ඇති බැවිනි.


කොතැනින් පටන්⁣ගත යුතු කතාවක්දැයි සිතා ගත නොහැක.

කෙටියෙන් කිවහොත් අප කවුරුත් දන්නා, ඉංජිනේරු, විද්‍යාජ්‍යෝති ගැමුණු සිල්වා ශූරීන් අප හැර ගොස්ය. සිතට දැනෙන දුක අතර වචන ගැලපීමද අසීරුය.

පුද්ගලිකව මගේ මතකය එතුමා හා සම්බන්ධ වන්නේ වසර විසි අටකට පෙර කලක සිටය. එනම් මා පුහුණුවන වාස්තු විද්‍යඥයෙක් ලෙස රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවය කල, 1994, 95 කාලයයි. ඉංජිනේරු සංස්ථාව ආරම්භයේ සිට සේවය කල පතාක යෝධයන් කීපදෙනා අතර ඔහුද විය. ටර්නර් වික්‍රමසිංහ, ජීවක ද සොයිසා, ආදීන් සමග විවිධ රාජකාරි කටයුතු වලදී සුහුඹුලන් වූ අපට ඔවුනගේ ඇසුර විශ්ව විද්‍යාලයේ සිටි වසර ගණන තුල උගත්දෙයට වැඩි දෙයක් විය. නෑ, බෑ කියන වචන නැති, කොහොම හරි කරමු,මේක පුළුවන් බං, තමුසෙලා කරනවකො, මං බලාගන්නම් කියා පහලම සේවකයා දක්වා වගකීම තම කරට ගත් එවන් චරිතයක්, පොඩි තැනදී එසේ වුවද, කිව යුතු දේ ජනාධිපති ඉදිරියේ පවා කෙලින්ම කියන සෘජුපටිපන්න ගුණය, විස්වාස කල නොහැකි තරම් විය.

Dont be Serious , Be mad කියා සරලව ජීවත් වන අයුරු අපට කියා දුන් ඔහු විසින් මැදිහත්වූ ව්‍යාපෘති ලංකාවට පමණක් සීමානොවීය.

ගුවන් හමුදා නිලධාරියෙක් ලෙස ද පන්නරය ලැබූ ඔහු,තමන් විශේෂඥතාවය ලද කාර්මික ඉංජිනේරු ක්ෂේත්‍රයට පමණක් සීමාවූ ඉංජිනේරුවෙක් නොවීම වැදගත්ම දෙයයි. බොහෝ ඉංජිනේරුවන් ඇහැක් ඇරවත් නොබලන පුරාවිද්‍යා ක්ෂේත්‍රයට ඔහුගේ සේවය නැතිවම බැරි උනේ, අපි කරමු කියන හැඟීමෙන් ලැබෙන හැම අභියෝගයක්ම නොපැකිලව භාරගත් හෙයිනි.

මාලිගාවිල බුදු පිළිමය, මිරිසවැටිය, ජේතවනය , අභයගිරිය සෑ, අපේ ඇසින් අද දකින්නේ ඔහුගේ නුවනැසින් ඒ දෙස බැලූ පිනෙන්ය. පුපුරා හැලෙන්නට ගිය තිස්සමහාරාම දාගැබ, කොතැනකවත් නැති ලෙස කේබල් යොදා බැඳතබා රැක ගන්නට හැකිව ඇත්තේ, අමුතුම ක්‍රමයකට ඔහු හිතූ නිසාය. ගල් විහාරය, මාලිගාවිල, තිවංක පිලිමගෙය, අවුකන ආදී පෞරාණික ස්ථාන, ලංකාවේ වෙන කොතැනකවත් නැති Space Frame තාක්ෂණය සහිත ආවරණ වහලයෙන් ආරක්ෂාවී ඇත්තේ ඔහුගේ නිර්මාණශීලීත්වය නිසාය.

ඉංජිනේරු ශිල්පය පමණක් නොව, ජීවිත තක්සලාවෙන්ද ඉහලම උපාධි ලද ඔහු ඇසුර හැම දෙනාට සැබැවින්ම ප්‍රිය විය.

විවිධ රාජකාරි සදහා රට වටා යන ගමනේදී මා ඔහුගෙන් උගත් දේ බොහෝය. වයස් ගතවී ගත මොනතරම් දුබල වුවද සිතින් ඔහු ප්‍රබල විය.

තම දැනුම තුළ රටට කල හැකි හැම දෙයක්ම ඉටුකරන්නට ඔහු නොපසුබට විය. දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කල තමා පියා ඇසුරෙන් දුම්රිය ගැන ඔහු දැනගත් බොහෝ විස්තර මා ඔහුගෙන් දැන ගත්තෙමි. පාසල් වියේදී, පියාගේ දුම්රිය බලපත්‍ර තුනෙන්, පවුලේ සියල්ල උදේ රත්මලානෙන් පිටත්ව, යාපනේ නාගදීපය වැඳ පියාගේ මිතුරෙකුගේ නිවසෙන් කෑම කා, කැෂුරිනා බීච් එකෙන් මුහුදේ නා, ආපසු හවස් වෙද්දී ගෙදර ආ ගුවන් ගමන ගැන ඔහු කියූ රසකතාව තවමත් මා සවන රැව්දේ. මාලිගාවිල බුදු පිළිමය හා බෝම්බ ප්‍රහාරයෙන් පසුව දළදා මාලිගාව සංරක්ෂණය පිලිබද ඔහු සතු සියළු තොරතුරු හා ඡායාරූප අපවෙත දුන්නේ, ඒවා තිබිය යුත්තේ පුරාවිද්‍යා ⁣දෙපාර්තමේන්තුවේ බැවින්ය.

අවසන් වතාවට , පසුගිය සතියේ මා ඔහු ඇමතූ විටත් ඇසුවේ, අපි ආයෙත් දීඝවාපි යන්නේ කවදාද කියාය. වස⁣ර දෙකකට පෙර දීඝවාපි ගිය විටක රාත්‍රියේ පය පැකිලී වැටී, අතක් ආබාධ වූ විටද, ඔහුට ⁣යායුතු වූයේ රෝහලට නොව දාගැබටයි. අසනීප ඔහුට වැදගත් නොවීය. “මේ වයසට තියෙන්න ඕන ලෙඩ සේරම මට තියෙනවා දැන් ” කියා ඔහු ගිය සතියේ කීවේ ඔහුට ඒවා වැදගත් නොවන නිසාය.

වරෙක රටේ ජනාධිපතිනිය මා ඉදිරිපිටම ඔහුගෙන් ඇසූ යේ, ” පැරිසියෙත් ඉගෙන ගෙන ගැමුනු, ඉංජිනේරු සංස්ථාවෙ මොනව කරනවද? ” කියාය. රජයේ සංස්ථාවක සේවය නොකර ඔහුට කෝටි ගණන් හම්බකරන්නට, ආයතන රැසක් විය, පිට රටවල් වලට යාමට හැකිව තිබුනි.

එහෙත් මේ රටෙන් ඉගෙනගත් මිනිසෙක් හැටියට, ඔහු මේ රටට ණය නැති මිනිසෙක් ලෙස සේවය කල තරම උවමනාවටත් වඩා වැඩිය.1943 දී උපත ලද ගැමුණු සිල්වා මහතා, වයස 78 ක් වන තුරුම මේ රටට ⁣කල සේවය වෙනුවෙන් අප ඔහුට ණය ගැතිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



නිවන් සුව ලැබේවා, විද්‍යාජ්‍යෝති ඉංජිනේරු ගැමුණු සිල්වා මැතිඳුනි.

Exit mobile version