වික්ටෝරියා ආශ්‍රිත භූකම්පන පරීක්ෂණ දින නියමක් නැතිව කල් යයි…

Victoria-reservoir

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අවස්ථා හතරකදී විශාල පිපුරුම් ශබ්ද ඇසීමෙන් වික්ටෝරියා ආසන්නයේ භූකම්පන සිදුවන බවට සමාජය තැති ගන්වා කළ පරික්ෂණවල කිසිදු ප්‍රතිඵලයක් නැතැයි දිගන කුණ්ඩසාලේ හා ඒ අවට ජනතාව චෝදනා කරති.

කලක් තිස්සේ මේ සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකළ බව රාජ්‍ය නිළධාරින් ඇතුළු කමිටු සාමාජිකයින් කියා සිටියද අවසානයේ සිදු වූයේ ඉතා සාර්ථකව පවත්වා ගෙන ගිය හුණුගල් කොරි තුනක කටයුතු නතර කර දැමීම පමණක් බවද ඔවුහු කියති.

වික්ටෝරියා වේල්ල සම්බන්ධයෙන්ද විවිධ මත පලකරමින් වේල්ල අවදානමකට ලක් ව ඇති බව කී පිරිස් අද වන විට සොයා ගැනීමටවත් නැති බව ද කියා සිටින දිගන තෙල්දෙණිය කුණ්ඩසාලේ සහ අඹගමුව ජනතාව මේ වන විට හුණු ගල් කොරිවල ජලය පිරී වැව් බවට පරිවර්තනය වි ඇති බවත් ඉදිරියේදි ඒවායෙහි බලපෑම මත වෙනත් අනතුරක් සිදුවිය හැකි බවත් පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් මහවැලි ජලාශ භාර අධ්‍යක්ෂක බී අරුප්පොල කියා සිටියේ , ලෝකයේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් වික්ටෝරියා ජලාශය සම්බන්ධයෙන් සිදු කිරීමට නියමිතව තිබූ ජාත්‍යන්තර පර්යේෂණ සියල්ල දින නියමයක් නැතිව කල් දැමීමට සිදු වූ බවය.

වේලි සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වන පර්යේෂණ කණ්ඩායමක් මෙරටට පැමිණ වික්ටෝරියා වේල්ලේ තත්ත්වය පිළිබදව පුළුල් පර්යේෂණයක් සිදුකිරිමට නියමිතව තිබූ අතර එය ලෝක බැංකු ව්‍යාපෘතියක් ලෙස අනුමතව තිබූ බවත් ප්‍රධාන ඉංජිනේරු අරුප්පොල කීවේය. වසංගත තත්ත්වය සමතයකට පත් වී විදේශිකයන්ට මෙරටට පැමිණිමට අවසර ලද සැනින් මෙම පර්යේෂණ සිදු කෙරෙන බවද හෙතෙම පැවසුවේය.

ඉකුත් කාලයේ සිදු වූ විශාල පිපුරුම් ශබ්ද සම්බන්ධයෙන් කල පර්යේෂණවලදි ගත් තීරණ අනුව , වික්ටොරියා ජලාශය ආශ්‍රිතව මීටර් සියක් රක්ෂිත සීමාව තුළ කැණීම් කළ හුණුගල් වලවල් තුනක් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය මගින් අත්හිටවනු ලැබිණි. තෙල්දෙණිය ආර් එම් රිෂ්ණි , ගොවිපොල පාර අළුත්වත්ත ජී එස් ප්‍රනාන්දු සහ මහනුවර හන්තාන ඒ ආර් සමරසිංහ යන අයට අයත්ව තිබු හුණු ගල් වලවල් මෙසේ අත්හිටුවා තිබිණි.

තවද පර්යේෂණ කණ්ඩායම ගත් තීරණ අනුව, භූ කම්පනය පිළිබදව නිශ්චිත නිගමනයකට පැමිණිමට නම් වික්ටෝරියා ජලාශය ආශ්‍රිත ප්‍රදේශ සියල්ල ආවරණය වන පරිදි කිලෝමීටර විස්සකට එක් භූ කම්පන මානයක් සවි කළ යුතු බව භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යංශය මගින් අමාත්‍යංශයට දැනුම් දුන් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගර්භ අධ්‍යන අංශයේ මහාචාර්යය අතුල සේනාරත්න පැවසීය.

නමුත් මේ කිසිදු කටයුත්තක් මේ වන විට සිදු ව නැති බවත්, හුණුගල් ආශ්‍රිත පොළොවේ විවිධ ස්ථානවල කුහර පවතින බව ඒ ඒ පර්යේෂකයන් විසින් පවසා තිබුණ බවත් , මේ වන විට හුණුගල් වලවල්වල ජලය පිරිඇති අයුරු දුටු විට මෙම කුහර තුළ යළි පීඩන තත්ත්වයක් ඇති වී විශාල විනාශයක් වනු ඇති බවට ජනතාව තුළ සැකයක් මතුව ඇති බවත් එම ප්‍රදේශවල ජනතාව පවසති.

Exit mobile version