ලලිත් චාමින්ද –
ගාල්ල කළුවැල්ල වැඩිහිටි නිවාසයේ නේවාසිකව රැඳී සිටියදි මිය ගිය කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණයේ දි තහවුරුවි ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර පවසයි.
මෙම කාන්තාව ඊයේ (25) වැඩිහිටි නිවාසය තුළදි මියගොස් තිබු අතර පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා මෘතදේහය කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන එනු ලැබිය. මියයාමට පසු කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අද (26) කරනු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි ඇයට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය.
මියගොස් ඇත්තේ වැඩිහිටිනිවාසයේ 87 හැවිරිදිවියේ පසුවන කාන්තාවකි. ඇය මග්ගොන ප්‍රදේශයේ පදිංචිකාරියකි. මියගිය කාන්තාව අවිවාහක කාන්තාවක් වන අතර ඇය කාලයක් තිස්සේ මෙම වැඩිහිටි නිවාසයේ නේවාසික රැඳී සිටි ඇත.
පශ්චාත් මරණ පරික්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර විසින් කළ අතර නිව්මෝනියා රෝගි තත්වයෙන් මෙම කාන්තාව මියගොස් ඇති බව පශ්චාත් මරණ පරික්ෂණයේ දී අනාවරණය වි ඇත.
හදිසි මරණ පරික්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික්ෂක ඒ.එච් එම් නාසිම් විසින් සිදුකරනු ලැබිය. මෙම කාන්තාවගේ මෘත දේහය නිරෝධායන නිතිරිතිවලට අනුකුලව ගාල්ල දැඩැල්ල ආදාහනාගාරයේ දි අද (26) රාත්‍රි ආදාහනය කරනු ලැබිය.