ව්‍යාපාරිකයින් පිරිසක් සමග රවීගේ මන්නාරම් හෙළිකොප්ටර් සවාරිය ගැන උතුරේ මන්ත්‍රීවරු විමසති…

දිනසේන රතුගමගේ –

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක  හදිසියේම ව්‍යාපාරිකයින් පිරිසක් සමග හෙලිකොප්ටරයකින් මන්නාරමට පැමිණීමට හේතුව පිළිබඳව රජයෙන් යම් පැහැදිලි කිරීමක් සිදු කරන ලෙස් දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන්  ඉල්ලීමක් කොට සිටියි.

හිටපු මුදල් අමාත්‍යවරයා මන්නාරමට පැමිණ ඇත්තේ ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර ද්‍රව්‍ය සකසන දැවැන්ත  සමාගමක ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සමග බව පවසන මන්ත්‍රීවරයා අවම වශයෙන් මේ සංචාරය පිළිබඳව ධීවර අමාත්‍යවරයා හෝ කරුණු පැහැදිලි කළ යුතුව ඇතැයි කියා සිටියි.

රජයන් විසින් උතුරේ දෙමළ දේශපාලනඥයින්ට නොදන්වා විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හමුවේ එහි ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව කී අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා උතුරේ සම්පත් වෙනත් රටවල වෙනත් පිරිසකට ලබා දීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය දැඩි ලෙස් විරුද්ධ බවද පැවසීය.

හදිසියේම හිටපු මුදල් අමාත්‍යවරයා මන්නාරමට පැමිණීම සම්බන්ධයෙන් විශාල සැකයක් හට ගෙන ඇති ඔහු කීවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මන්නාරමේ මාධ්‍යවේදීන් හිටපු අමාත්‍යවරයාගෙන් එම සංචාරය පිළිබදව විස්තර විමසූ අවස්ථාවේදී ඔහු කිසිදු පිලිතුරක් ලබා නොදී   පිටත්ව ගොස්  හෙලිකොප්ටරයෙන් කොළඹ බලා යාම ගැන  සලකා බලන විට ඔහු පැමිණ ඇත්තේ සද්භාවයෙන්  සිදු වන කටයුත්තකට නොවන බව ඉතා පැහැදිලි යැයිද සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියි.

Exit mobile version