වසන්ත මුදලිගේ වහාම මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කරන්න… ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්!

wasantha

බීබීසී-

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, මාස 3කට ආසන්න කාලයක් රැඳවුම් භාරයේ සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වහාම මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (නොවැම්බර් 10 වැනිදා) නියෝග කරනු ලැබීය.

ඔහු කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත වහාම ඉදිරිපත් කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ දැක්වෙයි.

වසන්ත මුදලිගේ ගොනු කර ඇති පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නියෝගය නිකුත් කළේ ය.

පෙත්සම අද කැඳවුණු ලැබුවේ විජිත් මලල්ගොඩ සහ එස්. තුරෙයිරාජා යන විනිසුරු මඬුල්ල හමුවේය.


පෙත්සම විභාගය ලබන ජනවාරි 31 වන දා ආරම්භ වේ.

වසන්ත මුදලිගේ වෙනුවෙන්, ජනාධිපති නීතිඥ සාලිය පිරීස් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

පසුගිය අගොස්තු 18 වැනිදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ පැවැත්වූ විරෝධතාවක් අතරතුර වසන්ත මුදලිගේ ඇතුළු 19 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වූ අතර වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙකු හැර 15 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැරිණි.

ඒ අනුව වසන්ත මුදලිගේ, පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි  සහ හෂාන් ගුණතිලක යන ක්‍රියාකාරීන් දින 90ක රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ප්‍රශ්න කිරීමට ජනාධිපතිවරයා විසින් පොලිසියට අවසර ලබා දෙන ලදි.

මෙම තිදෙනාගෙන් හෂාන් ජීවන්ත ගුණතිලක පමණක් කිසිම චෝදනාවක් නැති බව පවසමින්  රැඳවුම් භාරයෙන් නිදහස් කර තිබේ.

විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ නීතිපතිවරයාගෙන් විමසා සිටියේ වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට රැඳවුම් නියෝගයක් ලබා දී ඇත්තේ, ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වැරදි කළ බවට කුමන හෝ සාක්ෂියක් ඉදිරිපත් වීමෙන් අනතුරුවද යන්න බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පෙත්සම්කාර වසන්ත මුදලිගේ කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ නොවන නිර්දෝෂී පුද්ගලයෙකු බවට විමර්ශන වලින් පසු, අනාවරණය වුවහොත් ඔහුට සිදුවු හානියට වන්දි ගෙවන්නේ කවුදැයි විනිසුරුවරයා නීතිපතිවරයාගෙන් විමසා සිටියේය.

Exit mobile version