වසංගතයෙන් කඩාවැටුණු ව්‍යාපාරවලට මහ බැංකුවෙන් බිලියන 178ක්

කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත්වූ ව්‍යාපාර විසින් එවන ලද ණය අයදුම්පත් 61,907ක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අනුමැතිය ලබා දී ඇත.

ඒ සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම යටතේය.

එහි අදියර තුන යටතේ ලියාපදිංචි කළ මෙම අයදුම්පත් මගින් ලබාදෙන ණය වටිනාකම රුපියල් මිලියන 177,954 කි.


බලපත්‍රලාභී බැංකු විසින් දිවයින පුරා විසිරී සිටින පීඩාවට පත්වූ ප්‍රතිලාභීන් 45,582ක් වෙත රුපියල් මිලියන 133,192ක මුදල් ප්‍රමාණයක් මේ වන විට මුදා හැර ඇත.

ණය යෝජනා ක්‍රමයේ පළමු අදියර 2020 අප්‍රේල් මස 01 වන දින සිට ක්‍රියාත්මක විය.

දෙවන හා තුන්වන යන අදියර දෙකම 2020 ජුලි මස 01 වන දින සිට බලාත්මක වන පරිදි හඳුන්වා දෙන ලදී.

මෙම යෝජනා ක්‍රමවල අරමුණ වූයේ වාර්ෂිකව සියයට 4ක පොලී අනුපාතිකයක් යටතේ කාරක ප්‍රාග්ධන ණය ලෙස රුපියල් බිලියන 150ක් සැපයීමයි.

ණය සඳහා මාස හයක සහන කාලයක් ද ඇතුළත්ව මාස 24ක ණය ආපසු ගෙවීමේ කාල සීමාවක් හිමි වේ.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ස්වයං රැකියා හා තනි පුද්ගල ව්‍යාපාර ද ඇතුළු සියලු ව්‍යාපාර මෙම යෝජනා ක්‍රමවල ප්‍රතිලාභීන් විය.

පීඩාවට පත් ව්‍යාපාර විසින් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන මුලින් අපේක්ෂිත ණය වටිනකම් සීමාව පිළිබඳ නොසලකා අයදුම්පත් භාරගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කරන ලදී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව, නිවේදනය කරන ලද නියමිත කාලය තුළදී පීඩාවට පත්වූ ව්‍යාපාර විසින් ඉදිරිපත් කරනු ලැබූ සියලුම අයදුම්පත් සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සහන ලබා දෙන ලදී.

Exit mobile version